Nov 19, 2018

අර්බුදය තවත් දිග් ගැසේ : ''113 බහුතරය පෙන්වන්න අවස්ථාවක් නැහැ'' Featured

ඊයේ (18) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී විමල් විරවංශ මහතා කල අභියෝගය බාර ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ 113කට වැඩි බහුතරයක් ඇති බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය අද දිනයේ සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී සිටියද ජනාධිපතිවරයා මේ වනතෙක් ඒ සඳහා වෙලාවක් ලබාදී නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවසිය.

දැනට පත්ව සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බවත් ඒ අනුව මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසක් සමග ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශද සමග අද (19) දින උදැසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බවත් ඔහු කියා සිටියේය.

“අපට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 113 තිබෙනවා. ඔබට අවශ්‍ය නම් වේලාවක් දෙන්න හෙට උදේ අපි ශාරීරිකවම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ පෙන්වන්නම්..” යයි පාක්ෂික නායකයන් සමග පැවැති සාකච්ඡාවේ දී එජාපෙ නායකයන් ජනාධිපතිවරයාගේ මුහුණටම පවසා සිටි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හැන්සාර්ඩ් වාර්තාවේ කිසිවක් නැහැ !

මේ අතර ඉකුත් 14 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බවට හැන්සාර්ඩ් වාර්තාවේ සඳහන් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කර සිටියි.

නිත්‍යානුකුල විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ආණ්ඩුවට එරෙහිව සම්මත කර ගතහොත් අගමැතිධුරය සහ ආණ්ඩුවෙන් ඉවත් වීමට ඕනෑම මොහොතක සුදානම් බව පැවසු ගම්මන්පිල මහතා, එමෙන්ම ඊයේ දිනයේ පැවති සර්ව පාක්ෂික සමුළුව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බවද කියා සිටියේය.

අද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු සිදුවන ආකාරය පිලිබදව තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අද උදැසන 11ට පාර්ලිමේන්තුවේදී රැස්වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top