Nov 20, 2018

"ඉස්සරහට ආවොත් මරණවා"-රංජා කිව්වලු

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී පිහියක් පෙන්වා මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වැලිකඩ පොලීසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දැනුම් දෙමින් මේ බව දැනුම් දුන් වැලිකඩ පොලීස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් අස්මඩලේ මහතා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා විසින් කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කළ බව දැනුම් දුන්නේය.

සිද්ධිය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ වැලිකඩ පොලිසිය පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තු සභා රැස්වීමක් පැවැත්වු බවත් මෙම රැස්වීම අවස්ථාවේදී මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමාට පිහියක් පෙන්වමින් ‘‘ඉස්සරහට ආවොත් මරණවා’’ යැයි කියමින් තමාට මරණීය තර්ජන එල්ල කළ බවත් ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාද ඒ අසල පිහියක් අතැතිව සිටි බවත් පැමිණීල්ල සදහන් බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය වු ස්ථානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ දිලුම් අමුණුගම මහත්වරුන්ද එහි සිටි බවත් පැමිණීල්ලේ සඳහන් බව අධිකරණයට දැනුම් දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කරන්නේ යැයිද දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් එදින අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී කතානායක පුටුවේ වාඩිවී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ගෙන් පිටත හිඳ ඊට කළ අවමානය දැඩි ලෙස ජනතා දෝෂ දර්ශනයට ලක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top