Nov 23, 2018

ජනපතිගේ ගැසට් නිවේදනය ආපසු කැඳවීමේ සුදානමක් ! Featured

ආණ්ඩුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමේ අදහස ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සාමාජික, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඔහුට අවලංගු කළ හැකි බව ද ඔහු කියා සිටියේය.

ආණ්ඩුව අවශ්‍ය අවස්ථාවේදී බහුතරය පෙන්වන බව පැවසු දිසානායක මහතා, වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල බහුතරය ඇති නිසා නව කථානායකවරයෙකු පත්කර ගනිමින් 2020 ඔක්තෝබර් මාසය වන තෙක් ආණ්ඩුව ගෙන යන බව ද එහිදී සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය මුලින්ම පැවැත්වෙන බවත් ඉන් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් කී ඔහු සම්පූර්ණ නිල කාලයම වත්මන් පාර්ලිමේන්තුව ගෙන යන බවද කියා සිටියේය.

 පාර්ලිමේන්තුව විසුරුවා හැරීයේ ඇයි ?

පාර්ලිමේන්තුව නැවත ආරම්භ කළ විට ජනතා විමුක්ති පෙරමුණ විසින් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව තිබු විශ්වාස භංග යෝජනාවෙන් පරදින බව පෙනෙන විට ව්‍යාවස්ථාවේ වෙන්කොට ගත් ප්‍රතිපාදනයකට මුවා වී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට තීරණය කළේය. මෙහිදී මැතිවරණයකට පවා දින නියම කරන ලදී.

මෙහිදී ඔහු කළ වරද වූයේ ව්‍යාවස්ථාව සමස්තයක් සේ නොගෙන තමන්ගේ ක්‍රියාවට උදවුවෙන වගන්ති පමණක් ඉවහල් කර ගැනීම බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්ලිව් ඒ. විජේවර්ධන මහතා විසින් 'ඩේලි එෆ්.ටී. ' පත්‍රයට ලියන ලද ලිපියක සඳහන් විය.

ඔහු එම කාරණය තවදුරටත් මෙසේද විග්‍රහ කර තිබේ.

ජනාධිපතිවරයා විසින් නොකළ යුත්තක් :

''ව්‍යාවස්ථාව යනු තමන්ට අදාළ කොට පමණක් පරිශීලනයට ගන්නා පරිශීලන ග්‍රන්ථයක් නොවේ. එය සමස්ත ජාතියම ඉරණම තීන්දු කරන ලියැවිල්ලකි. එය පියවා ගත යුත්තේ සමස්ථයක් ලෙස සලකාය.

එම ව්‍යාවස්ථාවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති සාමාන්‍ය බලතල අවුරා තබන වගන්ති කිහිපයක් ඇත. පාර්ලිමේන්තුව ප්‍රථම දින සිට අවුරුදු හතර හමාරක් ගත වන තුරු විසුරුවා හරින්නට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගෙන එය ජනාධිපතිට ඉදිරිපත් කළ යුතු වෙයි.

යම් අයකු සමස්ථයක් ලෙස සලකා ව්‍යාවස්ථාව කියවා බලනවිට එවැනි අවුරා තැබීමේ වගන්ති ඊට ඇතුලත් කොට ඇත්තේ මන්ද යන්න පැහැදිළිව අවබෝධ කර ගනු ඇත. එසේ කොට ඇත්තේ යම් තරමක කාලයක් පුරා ප්‍රතිපත්ති සමුදායක් බාධාවකින් තොරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරලනු සඳහාය.

එසේ වූ, පාර්ලිමේන්තු බල කාලය අවම වශයෙන් අවුරුදු හතර හාමාරක් විය යුතුය. තමාට අවශ්‍ය අදාළ වගන්ති පමණක් කියවාගෙන, තමන්ට තහනම් කිරීම් පනවා ඇති කොටස් නොසලකා හැරීම ජනාධිපතිවරයා විසින් නොකළ යුත්තකි.

ඔහුට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඔහු කළ යුතුව තිබුණේ ව්‍යාවස්ථාව අනුව තුනෙන් දෙකක බහුතරයකින් තමන් හට බලය ඉල්ලා සිටීමය.

Parlimant 670px 09 11 18 අත්තනෝමතිකව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අර්බුදය දිග්ගැසීම....

 පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීම නිසා, ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යාවස්ථාවට එකග වේද යන්න විමසමින් එය පිළිනොගත් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට යාම දක්වා අර්බුදය දිග් ගැසුණේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් විය. දෙසැම්බර් මස මුලදී මීට අදාළව පූර්ණ විභාගයක් පැවැත්වීමට අධිකරණය බලාපොරොත්තු වෙයි.''

සබැඳි පුවත් :
ව්‍යාවස්ථා අර්බුදයේ වින්නැහිය - ආචාර්ය ඩබ්ලිව් ඒ. විජේවර්ධන 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top