Sathosa

Nov 23, 2018

''113 නෙමෙයි පුළුවන් නම් 85ක් පෙන්නන්න'' - රාජිත ගෙන් මහින්දට අභියෝගයක් !

''අද රැස්වන පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රී 113ක බහුතරයක් එපා, මන්ත්‍රීවරු 85 ක් හෝ ඊට වඩා වැඩි එකක් හෝ ඇති බව පෙන්වන'' ලෙස එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා, කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියි.

වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද උදෑසන සිය නිල ට්විටර් ගිණුම හරහා එම අභියෝගය කර ඇත.


 ඊයේ දින (22) අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී ද ඔහු මෙම අභියෝගය කළේය.

එම මාධ්‍ය හමුවේදී ඔහු මෙසේද කියා සිටියේය.

''අද වනවිට මේ රටේ ඉදිරි ගමන වලක්වමින්, ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා විරෝධී අගමැතිවරයෙක් සහ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් පත්කරලා මුළු රටම අස්ථාවරත්වයකට පත් කරලා තියනවා.

රටේ ආර්ථිකය, රටේ සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකය මේ සියල්ල අද ඇනහිටලා තියනවා. රජයේ කන්තෝරු කිසි එකක වැඩක් කෙරෙන්නේ නෑ. කිසිම රජයේ නිළධාරියෙක් රජය විසින් ලබා දෙන තීන්දුවක් ක්‍රියාත්මක කරන්නේ නෑ මොකද ඔවුන් දන්නේ නෑ රජය අද තියන එකද ? හෙට තියන එකද ? කියලා. ඉතින් ඒකයි අද තියන ශෝචනීය තත්වය.

බරපතල තත්වයක් : රටම අස්ථාවර වෙලා !

මම 1994 ඉදලා නොකඩවා අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මෙවන් අස්ථාවර තත්වයකට රට සහ පාර්ලිමේන්තුව සහ අනෙකුත් ආයතන ගෙන ගියපු කාලපරිච්ඡේදයක් දැක්කේ නැහැ.

මේ වගේ කාලයක් ගෙනියන්නට නෙවෙයි අපි ජනවාරි 8 වෙනිදා මේ ජනාධිපතිවරයා බලයට පත් කර ගත්තේ. ඉතාමත් ස්ථාවරබොහොම යහපත් පාලනයක් ඇති කරන්නට තමයි අපි තීන්දූ කලේ. මේ තියන විධායක බලයත් පාවිච්චි කරන්නේ නැහැයි කියලා තමයි අපි ගිවිස ගත්තේ.

නමුත් අද ජනාධිපතිධූරයට නැති බලතලත් ඔහු පාවිච්චි කරනවා. ව්‍යවස්ථාවට පිටිනුත් යනවා. ඒ විතරක් නෙවෙයි ඔහු අද හිටගෙන ඉන්නේ ඔහුව අඩි හයක් යට වලලනවා යැයි කියපු පස් පාරක් මරන්න තැත් කරයි කියපු දූෂිත මිනීමරුවොත් එක්ක.

මෙවන් දේශපාලන ඛේදවාචකයක් මගේ දේශපාලන ජීවිතය තුල මම දැකලා නැහැ. මේ රටේ මීට පෙර ඉතිහාසය තුල අහලත් නෑ. ලෝක ඉතිහාසය තුල බැලුවම එහෙම තිබිලත් නෑ.

ඉතින් අපි මේ දේට මුහුණදීලා රටේ මෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකරලා නැත්නම් මේක යන්නේ අගතිගාමී දේශපාලන ක්‍රමයකට. ඒ නිසා අපි මේ සටන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූලව සැවොම එකතු වෙලා දිගටම ගෙනියනවා.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top