Nov 23, 2018

යට ඇඳුමේ හෙරෝයින් සැඟවූ සහ හැවිරිදි දැරියත් අත්අඩංගුවට

අම්බලන්ගොඩ මුහුදු වෙරළ මාර්ගයේ පසුගිය 21 දා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු හා කුඩා දැරියක පොලිසියෙන් පරීක්‍ෂාවට ලක්‌කිරීමේදී ලක්‍ෂ 8 ක්‌ වටිනා මුදල් හා රන් භාණ්‌ඩ සමග හෙරොයින් මිලි ග්‍රෑම් 4365 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ මුහුදු වෙරළ ප්‍රදේශයේ පදිංචිකාරියන් වන වයස අවුරුදු 38 හා 42 එකම පවුලේ සොහොයුරියන් දෙදෙනකු හා ඔවුන්ගේ මිනිබිරියක වන 6 හැවිරිදි දැරියකි. මොවුන් කාලයක්‌ තිස්‌සේ මුහුදු යන ධීවරයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි බවත් සැකකාරියන්ගේ මවද හෙරොයින් ළඟ තබා ගැනීමේ වරදට මරණීය දණ්‌ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින බවත් පොලිසිය පවසයි.


එක්‌ කාන්තාවක්‌ සතුව තිබූ අත් බෑගයේ සඟවා ගෙන සිටි රුපියල් හාර ලක්‍ෂ විසි දෙදහසක මුදලක්‌ හා ලක්‍ෂ හතරක්‌ පමණ වටිනා රන් භාණ්‌ඩ හා හෙරොයින් මිලි ග්‍රෑම් 2160 ක්‌ද හමුවී ඇත. අනෙක්‌ කාන්තාව සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 2110 ක්‌ තිබූ අතර කුඩා දැරියගේ යට ඇඳුමේ සඟවා තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 95 ක ප්‍රමාණයද අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ළඟ තිබී අත්අඩංගුවට ගත් මත්කුඩු "ඩයිසැටයිල් මෝෆීන්" නම් හෙරොයින් වර්ගයට අයත් ඒවා බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් ඊසෙඩ්. පී. එම්. ලියාකාත් මහතා විසින් කුඩා දැරිය ඥතීන් වෙත භාරදෙන ලෙසත් සැකකාරියන් දෙදෙනා දෙසැම්බර් 02 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් නියෝග කරන ලදී. සැකකාරියන් ගමන් ගත් ත්‍රිරෝද රථය හා රියෑදුරු මුදාහැර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top