Nov 28, 2018

වෛරී සහගත ප්‍රකාශයක් ඉවත් නොකිරීමේ වැරැද්ද ෆේස්බුක් පිළිගනී Featured

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික වෛරය ඇති කළ හැකි ආකාරයේ ෆේස්බුක් පළ කිරීමක් ඉවත් නොකිරීමෙන් සමාගම වැරැද්දක් කළ බවට ෆේස්බුක් සමාගමේ ප්‍රධානියෙකු පිළිගනී.

ඊයේ ලන්ඩනයේ පැවති සාවද්‍ය පුවත් පිළිබඳ ජාත්‍යන්තර විභාගයකදී සමාගමේ නියෝජ්‍ය සභාපති රිචඩ් ඇලන් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බව වාර්තා කරයි.

සියළුම මුස්ලිම් ජාතිකයින් මරා දැමිය යුතු බවට පසුගිය මාර්තු මාසයේදී සිංහලෙන් ෆේස්බුක්හි කර තිබූ පළ කිරීමක් සම්බන්ධයෙන් සිංගප්පූරු මන්ත්‍රී එඩ්වින් ටොං එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇමතිවරයෙකු ඒ පිළිබඳව විමසීමෙන් පසුව ද අදාළ පළ කිරීම ඉවත් කිරීමක් සිදු නොවූයේ ෆේස්බුක් සේවකයෙකුගේ වැරැද්දෙන් බව නියෝජ්‍ය සභාපතිවරයා පැවසීය.

මෙවැනි ගැටළුවලට හොඳම විසඳුම වන්නේ, වෛරී සහගත සිංහල වචන ඇතුලත් ශබ්දකෝෂයක් සකස් කිරීම බව හෙතෙම වැඩිදුරටත් කීය.

අදාළ පළ කිරීම යටපත් වූයේ, ෆේස්බුක් වෙත පිවිසීම ශ්‍රී ලංකා රජය අවහිර කිරීමෙන් පසුවයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top