Dec 02, 2018

"මම වංචා කළා නම් පොලිසියට නොකියන්නේ ඇයි" - දඹර අමිල හිමි අසයි (වීඩියෝ)

සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකු ලිට්‍රෝ සමාගමෙන් වැටුප් ලබා ගෙන ඇතැයි කියන සිද්ධිය මේ දිනවල දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

එම සමාගමෙන් වැටුප් ලබා ගත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ඇතැම් මාධ්‍ය ඔස්සේ ද පළකර තිබිණ.

මෙම තොරතුරු අනාවරණ වූයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියේ නඩුව කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි

එම සමාගම විසින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට රුපියල් 95,000ක දීමනාවක වවුචර් පත්‍රයක්ද ලබා දුන් බව එහි මූල්‍ය පාලක වශයෙන් කටයුතු කළ මුදිත තමානගම කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පිළිගත්තේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' පූජ්‍ය දඹර අමිල හිමියන්ගෙන් කල විමසීමක දී උන්වහන්සේ එහිදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන ඕනෑම පරික්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි.

එහිදී "මම වංචාවක් කරලා තියෙනවා නම් හෝ කාට හරි තොරතුරු තියෙනවා නම් කල යුතු වන්නේ මාධ්‍යවලට කිය කියා ඉන්න එක නෙමෙයි. පොලිසියට පැමිණිළි කරලා නීතිය ක්‍රියාත්මක කරන එකයි. මාධ්‍යවල කෑ ගහනවාට වඩා වැදගත් වන්නේ ඒකයි." යනුවෙන්ද උන්වහන්සේ සඳහන් කළහ.

'මඩ ප්‍රචාරයක් විතරයි'

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ද ලිට්‍රෝ ගෑස් සමාගමෙන් වැටුප් ලබා ගත් බවට ආණ්ඩුවේ පාර්ශ්ව ඉකුත් දා චෝදනා එල්ල කර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ තමන් එවැනි මුදලක් ලබා ගෙන ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කමිටු සාමාජික සමන් රත්නප්‍රිය මහතා ද ලිට්‍රෝ ගෑස් සමාගමෙන් වැටුප් ලබා ගත් බවට රාජපක්ෂවරුන් පාර්ශ්ව චෝදනා එල්ල කර තිබිණ.

ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ එම සියලු චෝදනා දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා සිදුකරන මඩ ප්‍රචාර බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top