Sathosa

Dec 03, 2018

'අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නැහැ' - ජනපති TNA හමුවේ කියයි Featured

අභියාචනාධිකරණය අද (03) ලබා දුන් තීන්දුවත් සමග මේ වන විට අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බවත් ඒ අනුව ඉදිරි පැය 24 තුලදී තමන් විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය (TNA) නිකුත් කරනු ලැබූ ට්විටර් නිවේදනයේ දැක්වේ.

TNA

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් අද (03) සවස සිදුව ඇත.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග ගැන ජාතික ආරක්ෂක කවුන්සිලය සහ වගකිවයුතු නිලධාරින් සමග සාකච්ජා කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටි බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ සතිය තුල විසඳුමක් අවශ්‍යයි - එජාපෙ දැඩි ස්ථාවරයක

මේ අතර ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සාකච්ජාව අද රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතය. මෙලෙස අද පැවැත්වෙන්නේ ඊයේ (02) පැවැත්වීමට සැලසුම් කර තිබියදී අත්හිටවනු ලැබූ සාකච්ඡාවයි.

පවතින අර්බුදය සම්බන්ධයෙන් අද (03) දිනයෙන් පසු ජනාධිපතිවරයා සමග යළි සාකච්ඡා නොකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසයි.

එහි සාමාජික, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ මෙම සතිය තුළ ගැටළුවට අවසන් විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවයි.

මෙම සතිය තුළ ස්ථිර විසඳුමක් නොලැබුණහොත් වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට සූදානම් බව ඔහු මෙහිදී පැවසිය.

දිගින් දිගටම සාකච්ඡා කරමින් කල් ගත කරන්නට එක්සත් ජාතික පෙරමුණට අවශ්‍ය නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳෙන්නේ නැති නම් සිදු කිරීමට ඇති අවසන් පියවර වන්නේ මහජනතාව ඒකරාශි කර ගනිමින් පාරේ සටන් කිරීම බවද ඔහු කියා සිටියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top