මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප සමුළුව අමතමින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රීලනිප සමුළුව අමතමින්
Dec 04, 2018

'රනිල් මාවත් නැති කළා' - ජනපති මෛත්‍රීපාල සිරිසේන Featured

 

රට මෙන්ම එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා තමාව ද යම් තරමකට විනාශ කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුව අමතමින්, ජනාධිපතිවරයා අද (04) නැවත වරක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් ඔහු නැවත අගමැති ධුරයට පත් නොකරන බව අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එයට හේතු දක්වමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා රටට නොගැලපෙන පුද්ගලයෙකු බවය.

"යහපාලන ආණ්ඩුව විනාශ කළ රනිල්, රට විනාශ කළ රනිල්, එක්සත් ජාතික පක්ෂය විනාශ කළ රනිල්, යම් ප්‍රමාණයකට මාව විනාශ කළ රනිල්ට, ඒ සියල්ලටම දීමට තිබු එකම පිළිතුර රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියලයි මම තීන්දු කළේ."

සුදගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ අඟහරුවාදා ( දෙසැම්බර් 04) පැවති සමුළුවට මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වූ මන්ත්‍රීවරුන් කිසිවෙක් සහභාගි නොවූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම උත්සවයට එක්ව නොසිටීම විශේෂත්වයකි.

වර්තමාන දේශපාලන අර්බුදය ගැන මෙහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් ඔක්තෝබර් 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කිරීමට ගත් තීරණය නිවැරදි එකක් බව පෙන්වා දුන්නේය.

අභියාචනාධිකරණයට කෙනෙත්තිල්ලක් !

අධිකරණය දුන් තීන්දු වලට තමන් ගරු කරන බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, එම තීන්දු ගැන රටේ විවිධාකාර මත ඇති බව ද පැවසීය.

"නිකායක මහනායක හාමුදුරුවෝ කියන්න තිබුණු බණ විහාරාධිපති ස්වාමින්වහන්සේ නමක් කියලා කියලා සමහරු කියනවා, මේ විදිහට නොයෙකුත් විග්‍රහ තියෙනවා."

තමන්ට අහිමිවූ අගමැති පුටුව ලබාගැනීමට විදේශීය තානාපති කාර්යාල වන්දනා කරන බවට ද ජනාධිපතිවරයා මෙහිදී චෝදනා කළේය.

රනිල් නැවත අගමැතිධුරයට පත් නොකරන්නේ ඔහු සමග ඇති පුද්ගලික ගැටලුවක් නිසා නොවන බව පැවසූ ජනාධිපතිවරයා තමන් එසේ කරන්නේ "ඔහු රටට නොගැලපෙන දේශපාලකයෙක්" නිසා බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහගේ අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී දර්ශනය ශ්‍රී ලංකාවට නොගැලපෙන බව පැවසූ ජනාධිපතිවරයා මෙම අර්බුදය ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බව කියා සිටියේය.

"මේ දේශපාලන අර්බුදය වැඩිම වුනොත් ඉදිරි දින 7 තුළ අවසන් වෙනවා, මේ ගැන මම සහතික වෙනවා."

"මේ ප්‍රශ්නය හැදුවේ රනිල් වික්‍රමසිංහ, ඒ දේශපාලන කරුමය අපි පින් කරලා රට වෙනුවෙන් විසඳගමු," යනුවෙන් පවසමින් ජනාධිපතිවරයා සිය කතාව අවසන් කළේය.

 slfpmeetingශ්‍රීලනිප සමුළුව

මෙම සමුළුව පුරාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම ගැන කිසිදු අදහසක් ඉදිරිපත් නොවීය.

දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා අදහස් දැක්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක පවුලක පක්ෂයක් නොකර රටේ ජනතාවගේ පක්ෂයක් බවට ජනාධිපතිවරයා පත්කර ඇති බව කියා සිටියේය.

නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා අදහස් දැක්වීමේදී පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් තරුණයෙක්ගේ අනාගතය වෙනුවෙන් ගොඩනැගු පක්ෂයක් නොවන බවය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොඩනැගුවේ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ දේශපාලන අනාගතය වෙනුවෙන් බව පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එල්ලකළ චෝදනා අතර විය.

Ranilwickramasinghe 670px 08 01 18"ව්‍යවස්ථාව අනුව වැඩකරන්න කරන්න"- රනිල් ජනපතිට කියයි

 මේ අතර අද (දෙසැම්බර් 04) දහවල් අරලිය ගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, ව්‍යවස්ථාව අනුව කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන් තමන් ඉල්ලා සිටින බව ද කියා සිටියේය.

"මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් මේ ඇමති කියලා කාඩ් බෝඩ් උස්සගෙන ගිය අයත්, සියලු දෙනාම දැන් ව්‍යවස්ථාව අනුව වැඩකරන්න. මොකද අපි හැම එක්කෙනාම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න දිවුරුම් දීලා තියෙන්නේ, ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැරිනම් මෙතන ඉන්න අයිතියක් නැහැ."

(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :
හිට්ලර් වගේ වෙන්න එපා : මේ සෙල්ලම නවත්වමු - රනිල්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top