Dec 05, 2018

'ජනාධිපතිවරයා අභියෝගයට ලක් කිරීම පාර්ලිමේන්තුව සතු කාර්යයක්' - නීතිපති

පසුගිය නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙවන දිනට විභාගයට ගැනීම අද (05) ආරම්භ විය.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ මේ අවස්ථාවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බැවින් පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.

එම නිසා එම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙසට නීතිපතිවරයා ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝණය කර ඇත්නම් එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 ව්‍යවස්ථාවේ දක්වා ඇති බවත් එහිදී කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විභාගයක් කිරීමට ඉල්ලීමක් කළ යුතු බව නීතිපතිවරයා පැහැදිලි කළේය.

ඒ අනුව ජනාධිපතිවරයාගේ කටයුතු අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාව පාර්ලිමේන්තුව සතු කාර්යයක් බව නීතිපතිවරයා පවසා සිටියේය.

මේ අවස්ථාවේ පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියේය.

ඒ අනුව විධායයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙසට කටයුතු කිරීමේ කටයුතු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු සිසිර ද ආබෲ ,විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන,විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු විජිත් මලල්ගොඩ සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වෙමින් තිබේ.

(නෙත් නිව්ස්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top