Sathosa

Dec 06, 2018

'කඩයිම් පොත' කෝ බොලව්?

මහනුවර යුගයේ දෙවැනි රජ සමයේ (1629 - 1687) ඉනාමළුව කෝරලේ සීමා මායිම් දක්වමින් ලියා තැබූ 'කඩයිම් පොත' ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ අස්ථානගත වී යෑමෙන් ඓතිහාසික තොරතුරු රැසක් වැළලී ගොස් ඇත.

දෙවැනි රාජසිංහ රජු මහනුවර රාජධානියේ සීමා මායිම් තමන්කඩුව කඳුවැටිය (මින්නේරිය) දක්වා පුළුල්කර ගත් බවත් එහිදී එම කඩයිම් පුස්කොළ පොතක ලියා තබා ඇති බවත් ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ ඉනාමළුව කෝරාල එම කඩයිම් පොත ආණ්ඩුවට භාර දීමෙන් පසු එම කඩයිම් පොත අස්ථානගත වී ඇතැයි පවසයි.

එම කඩයිම් පොත ඉනාමළුව කෝරාලට භාරදීමට රැගෙන යෑමේදී තම ගම් ප්‍රදේශය ගැන තොරතුරු දැක ඉන් පුස්කොළ කිහිපයක් කණ්ඩලම ගමේ 'තේන ආරච්චි' විසින් ගලවාගෙන ඇති බව ඇරැවුල මුහන්දිරම් ගෙදර විමලසූරිය මහතා අනාවරණය කරයි.

එම පුස්කොළ කිහිපයේ තිබී ඉපැරැණි අප්පලා හීන්න, ගෙදරගාව හීන්න, බුබුලේගම, කොග්ගල කන්ද, ගිරිකණ්ඩවාපි වැව, කුරුල්ලන්ගල යන සීමාවන් හා ඉපැරැණි මින්නේරියට (තමන්කඩුව) ගමන් ගත් මාර්ගයේ පිහිටි කපොලු මුර කිරීමේ රාජකාරියේ යෙදී සිටි කෝඳුරුවා වැද්දා, නයිරන් වැද්දා, මකරයා වැද්දා, රුකා වැද්දා ගැන තොරතුරු රැසක් අඩංගු වී ඇති බවද හෙතෙම කියා සිටී.

මහනුවර යුගයේදී ගම්කොටු විකිණීමේ ගනුදෙනු සිදුවූ බැව් සඳහන් සීගිරිය (වර්ෂ 1720) කුඹුක්කඳන්වල (වර්ෂ 1703) පන්නම්පිටිය (වර්ෂ 1535) මකරයාවල (වර්ෂ 1770) රිදී ඇල්ල යන ඉපැරැණි තල්පත් (ගම් සීට්ටු) තවමත් පවතින බවත් එම තල්පත්වල අඩංගු 'ගම් මායිම්' හා 'දුටු සාක්‍ෂි' මඟින් ඓතිහාසික කරුණු රැසක් හෙළිදරව් වන බැවින් එම තල්පත් ආරක්ෂා කර ගැනීමට මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයාගේ අවධානය යොමුවිය යුතු බැව් පර්යේෂකයෝ පෙන්වා දෙති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top