Sathosa

Dec 07, 2018

රනිල්ට සහාය පළකරන යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට Featured

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරයේ කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ උපරිම විශ්වාසය තිබෙන බවට යෝජනාවක්‌ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදී තිබේ.

එක්‌සත් ජාතික පක්‌ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් අටදෙනකු විසින් අත්සන් කර ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර තිබේ.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ මෙම යෝජනාව මෙම 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක්‌ කිරීමටත්, අනතුරුව එය බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමටත් තීරණය කර ඇතැයි එම පක්‌ෂයේ ප්‍රකාශකයෙක්‌ කීවේය.

සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, අකිල විරාඡ් කාරියවසම්, ලක්‌ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරන්, මංගල සමරවීර, රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරුන් මෙම යෝජනාවට අත්සන් තබා ඇත.

අපි සහාය දෙනවා -TNA කියයි

 එක්සත් ජාතික පෙරමුණෙන් කවරකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කරනු ලැබුවද තමන් ඊට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය (TNA) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

අග්‍රාමාත්‍ය ධුරය සඳහා කවරකු නම් කරන්නේද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවත් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පාර්ශ්වය නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අග්‍රාමාත්‍ය ධුරය සඳහා නම් කරයි නම් එයට සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා "මව්බිම" පුවත්පතට පවසා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාම යළි අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ප්‍රකාශ කොට නොමැති බවත් ඔහු කියා සිටියි.

 ජවිපෙ සහයක් නැහැ :

 කෙසේ වෙතත් තම ස්‌ථාවරය වන්නේ පවත්නා කුමන්ත්‍රණය පරාජය කිරීම පමණක්‌ බව කී ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස මහතා කිසිවකු අගමැති කිරීම සඳහා ජ. වි. පෙ. සහාය දීමක්‌ සිදු කරන්නේ නැතැයි කීවේය.

ඒ අනුව අගමැති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කරන යෝජනාවකට පක්‌ෂව ජවිපෙ ඡන්දය ලබා නොදෙන බව ද ජයතිස්‌ස මහතා කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top