photographic 2
Dec 10, 2018

''බරපතල තත්වයක්, හදිසි වියදම් සඳහා මුදල් නෑ''- සන්ධාන මන්ත්‍රී කියයි

අගමැතිවරයාගේ සහ ඇමැති මණ්ඩලයේ කටයුතු අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති මේ අවස්ථාවේ අනපේක්‍ෂිත හදිසි දැරීමට වියදම් කිරීම සඳහා මුදල් සපයා ගැනීමේ හැකියාවක් නොමැති බවත් ඉක්මණින් අධිකරණ තීන්දුවක් දෙනතෙක් එම අනතුර රටට තිබෙන බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ඊයේ (09) පුංචි බොරැල්ලේ වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 151 (1) වගන්තියට අනුව ප්‍රතිපාදන සලසා නොමැති අනපේක්‍ෂිත හදිසි වියදමක්‌ දැරීම සඳහා අවිනිශ්චිත අරමුදලින් මුදල් සපයා ගැනීමේ හැකියාව මුදල් ඇමැතිවරයාට තිබෙන බවත් දැන් එසේ අරමුදල් සපයා ගැනීමේ හැකියාවක්‌ පවා නොමැති බවත් සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා කීවේය.

ඒ නිසා නඩුකාර හාමුදුරුවෝ තීන්දුව දෙනකම් මේ රටට ස්‌වභාවික විපතක්‌ නම් වෙන්න එපා යෑයි තමා අපේක්‍ෂා කරන බවත් එසේ වුවහොත් රට විනාශයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

''ස්‌වභාවික විපතක්‌ ආවොත් සුනේ සුන් ''

මේ අවස්‌ථාවේ රටට ස්‌වභාවික විපතක්‌ සිදුවුවහොත් නැතිවීමට යන ජීවිතයක්‌ බේරා ගැනීම සඳහා බෝට්‌ටුවක්‌ හෝ යෑවීමට ප්‍රතිපාදන සලසා ගැනීමට ක්‍රමයක්‌ නොමැති බවද ජයකොඩි මන්ත්‍රීවරයා කීවේය.

මේ නිසා ඉක්‌මනින් අධිකරණ තීන්දුවක්‌ ලැබෙන තෙක්‌ මේ අනතුර රටට තිබෙන බවත් ඒ දෙස ජනතාව බලා සිටින බවත් සිසිර ජයකොඩි මහතා කීවේය.

2004 වසරේදී සුනාමියක්‌ ඇවිත් මිනිස්‌ ජීවිත හා දේපළ විනාශ වූ ඉතිහාසය මේ රටේ ජනතාවට මතක බවද මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.

අධිකරණය විසින් ලබාදී ඇති මෙම තීන්දුව නිසා දිනෙන් දිනම රටේ ජාතික ආර්ථිකයත්, සමස්‌ත ජනජීවිතයත් කඩාවැටෙමින් තිබෙන බවත්, අභියාචනාධිකරණයක්‌ විසින් රජයක ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් ලංකා ඉතිහාසයේ හෝ ලෝක ඉතිහාසයේ මෙවැනි තීන්දුවක්‌ ලබාදී නැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top