Dec 11, 2018

"කාකි ඇඳුම ඇතුළෙ ඉන්නෙත් මිනිස්සු" - පොලිස් ඥාති සංසදය

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නියුතුව සිටින සියලුම නිලධාරීන්ට රජය විසින් ලබාදීමට තීරණය කර තිබූ සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලා ලබන දොළොස්වැනිදා පොලිස් ඥාති සංසදය එක්ව ජනාධිපතිවරයාට සංදේශයක් බාරදීමට නියමිත බව පොලිස් ඥාති සංසදය දඹුල්ල ප්‍රදේශයේ දී 10 දින මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළහ.

පොලිස් ඥාති සංසදයේ සභාපති කසුන් තිවංක වික්‍රමසිංහ සංගමයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මෙන්ම එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දිල්හානි නානායක්කාර යන මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

පොලිස් පොලිස් ඥාති සංසදයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම කියා සිටියේ සමස්ථ පොලිස් නිලධාරීන්ම දැඩි පීඩනයකට පත්ව සිටින බවයි. එමෙන්ම සංයුක්ත දීමනාව නොගෙවීම නිසා මෙන්ම සුබසාධක කටයුතු නොමැති නිසා පොලිස් නිලධාරීන් කලකිරීමෙන් යුතුව රාජකාරි කටයුතුවල නිරතවන බවද ඔවුහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළහ.

පොලිස් නිලධාරීන් හට ලබාදීමට තීරණය කර තිබූ සංයුක්ත දීමනාව මේ වන විට රජය විසින් නවතා තිබීම නිසා පොලිස් නිලධාරීන් රටවටේ බොහෝ දෙනෙකුට ණය වී සිටින බවද මෙම ඥාතීහු පවසති. මේ හේතුව නිසා තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මැදිහත් ව මෙම පොලිස් නිලධාරීන්ගේ සුබසාධන කටයුතු සහ සංයුක්ත දීමනා ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය .

එමෙන්ම මෙහි මාධ්‍ය ප්‍රකාශිකා කියා සිටියේ පොලිස් නිලධාරීන් තුන්වේල ආහාරයක් නොගන්නා බවත් එක් වේලක් දෙකක් ආහාර අතහැර තම දුවා දරුවන් ආරක්ෂා කිරීම සඳහා එම මුදල් යොදවන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් ඥාති සංසදයේ සභාපති කසුන් තිවංක වික්‍රමසිංහ මහතා,

police 01"අපි මේ පොලිස් ඥාති සංසදය ආරම්භ කළේ විශේෂෙන්ම වර්තමානයේ පොලිස් නිලධාරීන්ට සිදුව තිබෙන අපහසුතා මඟහරවා ගන්න .ඒ අයට ලැබිය යුතු වරප්‍රසාද ලබා දෙන්න අද බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය ගැන විවිධ වැරදි මත ප්‍රකාශ කරමින් ජනතාව පොලීසිය අතර පවතින සුහදතාවය පවා විනාශ කරන්න හදනවා. අන්න ඒ නිසා තමයි අපි මේක ආරම්භ කළේ ".

"එක පැයක කාලයක් බැරිවෙලාවත් පොලිසිය වහලා තිබ්බ නම් රටේ මොකක් වෙයිද කියලා කාටවත් කියන්න බැහැ ඒ තරම් අත්‍යවශ්‍ය පිරිසක් තමයි පොලිසිය කියන්නේ."
පොලිස් නිලධාරීන් විශාල වූ සේවාවක් කරනවා. හැබැයි ඒ අයට රජයෙන් ලැබිය යුතු වරප්‍රසාද සුබසාධන කටයුතු ලැබෙන්නේ නැහැ. ඒ නිසා පසුගිය කාලයේ පොලිස් නිලධාරීන්ට ලබාදීමට තීරණය කළ සංයුක්ත දීමනාව නැවත ලබා දිය යුතුයි. අපි රට වටේ ඉන්න පොලිස් ඥාතීන්ට ආරාධනා කරනවා ලබන දොළොස් වන දින එන්න ගාලු මුවදර ක්‍රීඩාපිටිය ලඟට අපි එතන ඉඳලා පාගමනින් සන්සුන්ව විනයානුකූලව ගිහිල්ලා සංදේශයක් භාර දෙනවා. ජනාධිපතිතුමාට පොලිස් නිලධාරීන් විඳින දුක්ගැහැට කම්කටුලු මේ ඔක්කොම එකේ තියෙනවා. එදාට අපි මාධ්‍යයට පෙන්නනවා අපි ලබාදෙන සංදේශය. පොලිසියේ විශාල වූ ප්‍රශ්න රැසක් අපි හෙළිදරව් කරනවා."

ඥාති සංසදයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මහතා,

"අපි මෙවැනි ආයතනයක් රට තුළ ස්ථාපිත කළේ පොලිසියේ ඇතුළත පිටතදීත් අපේ පොලිස් නිලධාරීන් ඥාතීන්ට සිදුවන විවිධ බලපෑම් හේතුවෙන්. රාජකාරි කරන්න ගියත් අවසානයේ දී ඒ අය තනිවෙනවා. ඒ අය තමයි වැරදිකාරයෝ බවට පත්වෙන්නෙ. අවසානයේ ඒ අයට ජීවිත කාලයම රටට වැඩ කරන්න ගිහිල්ලා විශාල කරදරවලට මුහුණපාන්න සිද්ධවෙනවා. හැබැයි කවුරුත් පොලිස් නිලධාරීන් ගැන කතා කරන්න කෙනෙක් නෑ අද".

"පොලිසියෙන් සිද්ධවෙන සේවාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. හැබැයි පොලිසියට සිදු වෙන හානියක් තිබ්බ නං ඒකට තමයි බොහෝ දෙනෙක් නතු වෙලා තියෙන්නේ. හැබැයි අපේ පොලිස් නිලධාරීන්ට හොඳ මානසික මට්ටමකින් සේවාවන් කරන්න රජය ඉඩ දීලා නෑ, ඒ අය දැඩි මානසික පීඩනයකින් තමයි වැඩ කරන්නේ. ඒ අයගේ මානසික පීඩනය නවත්වලා හොඳ මානසික මට්ටමකින් රස්සාව කරන්න ඉඩ සලසලා දෙනවා නම් අපි මේවගේ සංසද හදන්නෙත් නෑ. මොකද ඒ අයට ප්‍රබලම පවතින්නේ ආර්ථික ප්‍රශ්නය. ඉතා අඩු මුදලකින් ආර්ථිකය ගැටගහගන්න වෙලා තියෙන්නේ. එ්නිසා දැනට පොලිස් නිලධාරීන්ට ලැබෙන සියලුම වරප්‍රසාද අහිමි වෙමින් යනවා ".

"ඒ වගේම තමයි උසස්වීම් ලබාදීමේ දී සිද්ධ කරලා තියෙන්නේ විශාල අසාධාරණයක්. පසුගිය දිනවල උසස්වීම් ලබාදීමේ දී මේ අයට සිදුවෙලා තියෙන අසාධාරණය පිළිබඳව ඒ අය තවත් කලකිරිලා මානසික පීඩනයකින් සේවා කරන පොලිස් නිලධාරීන් උසස්වීම් යටතේද තවත් මානසික පීඩනයට ලක් කළා. ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න පොලිස් කොස්තාපල්වරයාගේ සිට උසස් නිලධාරියා දක්වා ම කැපකිරීම් කරනවා. හැබැයි ඇතැම් කොටසකට උසස්වීම් සියල්ල ලබා දී තිබෙනවා. මේ සියල්ල අපි ඉදිරියේදී හෙළිදරව් කරන්න සූදානමින් ඉන්නේ"

සංසදයේ මාධ්‍ය ලේකම් දිල්හානි නානායක්කාර මහත්මිය.

"අද අපේ ඤාතීන් පුදුමාකාර දුකක් වේදනාවක් විදින්නේ. ඒ අයට හරියට නිල ඇඳුම නෑ හරියට. ආහාරපාන ටිකක් නැහැ. පිරිසිදු වතුර ටිකක් බොන්න නෑ. සේවාකරන කාල සීමාවක් නෑ. පැය 24ම වැඩ කරනවා. පොලිස් නිලධාරීන්ට තමන්ගේ ගෑනු දරුවන් එක්ක රසවත් කෑමක් කන්න වෙලාවක් නැහැ. ගමනක් බිමනක් යන්න වෙලාවක් නෑ . හැබැයි ඒ අය රට වෙනුවෙන් සුවිශාල වූ කැපකිරීමක් කරනවා. මම හිතන්නේ නෑ රජයේ සේවකයන් අතරින් මේ තරම් කැප කිරීමක් කරන නිලධාරීන් සේවකයන් ඉන්නවද කියලා."

" මොකද අපි ඒ අයගේ ඥාතීන් නිසා අපි මේක දන්නවා. පොලිස් නිලධාරීන්ගෙන් දුවා දරුවන් කාන්තාවන් සැමියන් නිවෙස්වලට වෙලා වෙනම අරගලයක් කරනවා. මම දන්නවා සමහර විට පොලිස් පරීක්ෂකවරයෙක් තුන්වේල කන්නේ නැහැ. ඒ අය එක වේලක් දෙවේලක් දවසකට කාල තමයි තම දරුවන්ගේ ආහාර වේල සපුරන්නේ .මේක තමයි තිත්ත උනත් ඇත්ත කතාව. කවුරුවත් දැනගෙන හිටියෙ නෑ මේ නිල ඇඳුම ඇතුලෙ ඉන්නෙ මිනිස්සු කියලා. හැබැයි වෙනත් රටවල් වගේ පොලීසියට බාර දුන්නොත් සංවර්ධිත රටක් හැටියට නැවත බාර දේවි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මේ අපි ඉල්ලන සියල්ලම නෙවෙයි. ටික ටික හරි මේ ශ්‍රී ලංකා පොලීසිය ගැන හොයලා බලලා සාධාරණය ඉෂ්ට කරන්න කියලයි."

සටහන සහ ඡායා - කාංචන කුමාර ආරියදාස - දඹුල්ල

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top