Dec 12, 2018

ගරු කිරීම් අඩු නිසා සරසවි සිසුන් ඇනගෙන - 3ක් රෝහලේ

යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් සහ දෙවැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙකු ඊයේ (11) රාත්‍රියේ තුවාල ලබා රෝහල් ගත කළ බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කන්දර්මඩම් ප්‍රදේශයේදී යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් හා දෙවැනි වසරේ සිසුන් පිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් ගැටුම සිදුව ඇති බවයි.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිසිය පැවසීය.

සිව්වන වසර සිසුන්ට දෙවැනි වසර සිසුන් ගරු නොකිරීමේ ගැටලුවක් මත ගැටුම හටගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුන්ගෙන් කටඋත්තර ලබාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

සටහන - මාධව කුලසූරිය - වවුනියාව

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top