Dec 12, 2018

'ලෝන්ලි ප්ලැනට්' පළමු තැන ගත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අනතුරේ ! Featured

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නිරතවන පුද්ගලයන් ඔක්තෝබර් සහ මාර්තු අතර විහිදෙන 'ශ්‍රී ලංකාවේ සංචාරක සමයට' මුහුණදීම සඳහා සුදානම් වන්නේ දැඩි අපේක්‍ෂා සහගතවය.

එහෙත්, සංචාරක සමය ආරම්භවීමට ආසන්න මොහොතක ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයටත් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබෙන බව එම ක්ෂේත්‍රයේ රැකියාවල නියුතුවූවෝ පවසති.

ඔක්තෝබර් 26 වන දා නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමෙන් පසු වර්ධනය වූ අවිනිශ්චිත දේශපාලන තත්ත්වය මගින් ඉදිරි සමයේ ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම සම්බන්ධයෙන් ද යම් බලපෑමක් ඇති කළ හැකි බව හෝටල් හිමියෝ ද පවසති.

20% සිට 35% දක්වා සංචාර අවලංගු කරගෙන:

හෝටල් සේවක මධ්‍යස්ථානයට අනුව මේ වන විට විදේශීය සංචාරකයන් 20% සිට 35% දක්වා ප්‍රමාණයක් තම සංචාර අවලංගු කරගෙන තිබේ.

මෙම තත්ත්වය මහා පරිමාණ හෝ මධ්‍යම හා සුළු පරිමාණ හෝටල්වලට පමණක් නොව, 190,000 ක් පමණ වන ශ්‍රී ලංකාවේ හෝටල් සේවකයන්ට ද බලපාන බව හෝටල් සේවක මධ්‍යස්ථානයේ ජාතික සංවිධානයක බීඅයි ආබ්ඩීන් මහතා බීබීසි සිංහල සේවයට පැවසීය.

සංචාරක ක්ෂේත්‍රයේ රැකියා කරන්නන් එසේ ප්‍රකාශ කළ ද, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එළි දක්වා ඇති දත්ත අනුව, පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව වැඩි සංචාරකයන් ප්‍රමාණයක් 2018 වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ තිබේ.

 ''සංචාරකයින් අවදානමක් ගන්න ලෑස්ති නැහැ''

 ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා බීබීසි සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ මෙම දේශපාලන අර්බුදයෙන් සංචාරක කර්මාන්තයට ඇති බලපෑම නිසි ලෙස ප්‍රකාශ කළ හැක්කේ තවත් මාස කිහිපයකින් පමණක් බවය.

Elephant 670px 23 07 18

"අපිට ආපු සංචාරක කණ්ඩායම් 4 ක් විතර අවලංගු වුණා, අපි ඔවුන්ට කරුණු පැහැදිලි කළා ලංකාවේ ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඔවුන් කිව්වේ ඔවුන් අවදානමක් ගන්න ලෑස්ති නැහැ කියලා, ලොකු ආදායමක් අපිට වගේම රටටත් නැතිවුණා," ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිත ආයතනයක සංචාරක නියෝජිතවරියක් බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවාය.

නම හෙළි කිරීමට අකමැතිවූ ඇය පැවසුවේ, විශේෂයෙන්ම යුරෝපීය සංචාරකයන් මේවන විට ඉදිරි වසන්ත සමයේ තමන් සංචාරය කරන ස්ථාන තීරණය කරමින් සිටින බවය.

"මේ නිසා ඉදිරි සංචාරක සමයේ මෙරටට එන සංචාරකයන් අඩුවෙන්න පුළුවන්."

රට තුළ ඉක්මනින් දේශපාලන ස්ථාවරත්වයක් ඇතිනොකළ හොත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට එය "දැඩි බලපෑමක්" කරනු ඇති බව ද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සංචාරක ක්ෂේත්‍රයට කළ බලපෑම, තමන්ට එක එල්ලේ ප්‍රකාශ කළ නොහැකි බව, ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා, බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් පැවසීය.

"මේ තත්ත්වය නිසා සංචාරකයන්ගේ යම් අඩුවීමක් තිබුණ ද, කියල හරියට බලන්න නම් මාස 3 ක පමණ කාලයක් යනවා."

"ඔක්තෝබර් 26 මේ දේශපාලන අර්බුදය හටගැනීමත් සමග ඇති වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරණය නිසා අවලංගු වීම් වගේ ම හෝටල් කාමර වෙන් කිරීම් කල් යාමත් සිදුවුණා," සභාපතිවරයා ප්‍රකාශ කළේය.

"ඊට අමතරව ව්‍යාපාරිකයන් සහ රාජ්‍ය නොවන ආයතන ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සමුළු කීපයකුත් අවලංගු වී තිබුණා."

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් 80% ක් පමණ සිය නිවාඩුව ගත කිරීමට පැමිණෙන අතර, ඔවුන්ට මේ දේශපාලන තත්ත්වය එතරම් බලපෑමක් ඇති කර නොමැති බව තම අදහස බව ද ඔහු පවසයි.

 ''ඉදිරි වෙන් කර ගැනීම් ගොඩක් අඩුවෙලා තියෙනවා''

 ගල්කිස්ස මහ හෝටලයේ ද සභාපතිවරයා ලෙස කටයුතු කරන සනත් උක්වත්ත මහතා ගෙන් එම හෝටලයේ තත්ත්වය විමසූ විට ඔහු පැවසුවේ, දේශීය උත්සව කීපයක් පමණක් අවලංගු වූ නමුත්, විදේශිකයන්ගේ අඩුවක් දක්නට නැති බවය.

කෙසේ වෙතත්, ඉදිරි මාස කීපයට සිදු කරන කාමර පහසුකම් වෙන් කිරීම පිළිබඳ යම් අවදානමක් ඇති බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

"ඉදිරි වෙන් කර ගැනීම් ගොඩක් අඩුවෙලා තියෙනවා. නමුත් දැන් ඔවුන් තේරුම් අරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුවේ තියෙන එකක් මිස මහපාරේ එකක් නෙවෙයි කියලා, දැන් දැන් ඒ වෙන් කිරීම් එමින් පවතිනවා."

 'ලෝන්ලි ප්ලැනට්' 2019

 ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් (Tourist Guide) ප්‍රකාශකයා ලෙස සැලකෙන 'ලෝන්ලි ප්ලැනට්' 2019 වසරේ සංචාරය කිරීමට හොඳ ම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබ තිබීම ප්‍රයෝජනයට ගැනීම සියලු දෙනාගේ වගකීම බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ආයතනය 2019 වසර ඉලක්ක කරගනිමින් ලොව වටා සිදුකිරීමට නියමිත "So Sri Lanka" යන ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීම මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් යම් ප්‍රමාදයකට ලක්වී තිබුණත්, එම ප්‍රචාරක ව්‍යාපෘතිය නියමිත ලෙස සිදුකරන බව තම සංගමයට දැනුම් දී ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

"මම සංචාරයේ රැගෙන යන කණ්ඩායම් 3 ක් ජනවාරියේ කළ වෙන් කිරීම් අවලංගු වුණා, මේක අපේ සාමාජිකයන්ටත් දැඩි ලෙස බලපානවා," ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශක සංගමයේ සහකාර ලේකම් ප්‍රශාන් බාන්ස් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"වාසනාවට තාම රටවල් දාලා තියෙන්නේ ශ්‍රී ලංකාවට සංචාරක උපදෙස් විතරයි, මේ දේශපාලන අස්ථාවර බව තවදුරටත් ගියොත් ඔවුන් සංචාරක අනතුරු ඇඟවීම් කරයි, ඊටත් පස්සේ සංචාරක තහනම් දායි," ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔක්තෝබර් 26 වන දා ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ආරම්භ වීමත් සමග විශේෂයෙන් ම බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය ගැන කරුණු ද එකතු කර තිබේ.

british

 "සංචාරකයෝ කැමති නැහැ තමන්ගේ සංචාරය ඇතුළත මොකක් හරි බාධාවක් ඇති වෙනවට, ඉතින් ඒගොල්ලෝ අවදානමක් ගන්නේ නැතුව වෙන රටක් තෝර ගන්නවා," සංචාරක මාර්ගෝපදේශකවරයකු වන ප්‍රශාන් බාන්ස් පැවසුවේය.

 සංචාරකයින් සංඛ්‍යාව වැඩිවෙලා

 104735736 c7c601a2 93cb 44be 985e b587abfef82d

මේ අතර, 2017 වසර සමග සසඳා බලන විට 2018 වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එළිදක්වා ඇති දත්ත පෙන්නුම් කරයි.

විශේෂයෙන් ම ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී සංචාරකයන්ගේ පැමිණීමේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බව එම වාර්තාවල දැක්වේ.

(බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top