දින 50කට වැඩි කාලයක් පැවති අගමැති දේශපාලන අර්බුදය නිමවන ලකුණු දින 50කට වැඩි කාලයක් පැවති අගමැති දේශපාලන අර්බුදය නිමවන ලකුණු
Dec 15, 2018

රනිල්ට, මෛත්‍රී ගෙන් දුරකථන ඇමතුමක් : 'දිව්රුම් දෙන්න' එන්න කියයි Featured

හෙට (දෙසැම්බර් 16) උදෑසන 10.00 ට රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අගමැති ධුරයේ දිව්රුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග තහවුරු කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (දෙසැම්බර් 14) රාත්‍රී පැවති "දුරකතන සංවාදයක දී මිට අදාල කටයුතු සාකච්ජා කර තිබේ.

මේ අතර, ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (දෙසැම්බර් 15) විශේෂ ප්‍රකාශයක් කරමින් තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි.

"රටේ ස්ථාවරභාවය ආරක්ෂාකිරීම පිණිස, සෙනසුරාදා ජාතිය ඇමතීමෙන් අනතුරුව අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර ඇති," බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිකුත්කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

මහින්ද රාජපක්ෂ මහතා එම තීරණයට එළඹ සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ද 'බීබීසී සිංහල සේවය'ට තහවුරු කළේය.

දින 50ක අර්බුදයේ ආරම්භය ?

දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සමගය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හේතුවෙන් අගමැතිවරයා ඉල්ලා අස් නොවුවහොත් අලුතෙන් අගමැතිවරයෙක් පත්කිරීමේ හැකියාවක් නොමැති බවය.

එබැවින් ජනවාරි මාසය වනවිට මුහුණදීමට සිදුවිය හැකි තත්වය සලකා බලා සෙනසුරාදා පදවියෙන් ඉල්ලා අස්වීමට "අගමැති මහින්ද රාජපක්ෂ" තීරණය කළ බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, "අගමැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ අලුත් අගමැතිවරයෙක් හෝ වෙනත් කිසිම දෙයක් කරන්න ජනාධිපතිතුමාට බෑ. ඒ නිසා ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත්කරන්නේ නැතුව, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව කල් දාපු නිසා අපිට වෙන තීන්දුවක් ගන්න විදියකුත් නෑ. ඒ නිසා රට ගැන කල්පනා කරලා එතුමා ඉල්ලා අස්වෙලා ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දීමට," තීරණය කළ බවය.

මහින්දට වෙනත් විකල්පය නැහැ !

කෙසේ වුවත්, පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා දෙකක් සම්මතවීමෙන් අනතුරුව සහ අධිකරණය විසින් වාරණයක් පනවනු ලැබ තිබෙන බැවින් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැති පදවිය නොදරන බවට ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබේ.

ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ආචාර්ය අසංග වැලිකල මහතා කියා සිටියේ, පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය සහිත අගමැතිවරයෙකු පදවියෙන් පහකිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැතිය යන්න සිය ස්ථාවරය බවය.

එබැවින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පදවියෙන් පහකිරීම මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියට පත්කිරීම ද නීතිය ඉදිරියේ වලංගු නොවන බව ද ඔහු අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ බ්‍රහස්පතින්දා (දෙසැ. 13) තීන්දුව දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ මන්ත්‍රී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට කියා සිටියේ, "අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," යනුවෙනි.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top