Dec 15, 2018

'එජාපයට එක්වන කතාව බොරු' - එස්.බී. නාවින්න

එක්සත් ජාතික පක්ෂයට යළිත් එක්වීමට තමා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න පවසයි.

ආණ්ඩුවට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම යළිත් එම පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බවට සති අන්ත පුවත්පතක අද පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කල විමසීමකදී නාවින්න මන්ත්‍රීවරයා එබව සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව පසුගිය 26 වන දා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මැති ඇමතිකම් ලබාගනිමින් ඔහුට සහය පළ කළේය.

ආනන්ද අලූත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත එම පිරිසට ඇතුළත් ඇති අතර ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබා ගත්තේය.

එමෙන්ම විජේදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද යන මන්ත්‍රීවරුන් ද මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහය පළ කිරීමට එක්විය.

විජේදාසට ඇමතිකමක් දෙන්න එකඟවෙලා !

මේ අතර 'අරලියගහ මන්දිර' ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ, පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක් වී අමාත්‍ය ධුර ලබාගත් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු නැවතත් එජාපය හා එක්වීමට සාකච්ජා කරමින් සිටින බවයි.

එම ආරංචිමාර්ග වලට අනුව, විජේදාස රාජපක්ෂ, එස්.බී. නාවින්න, දුනේෂ් ගන්කන්ද, අශෝක ප්‍රියන්ත යන සිව්දෙනාම යළි එජාපයට එක්වීමට එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානියකු හා දුරකතනය හරහා සාකච්ජා කර ඇතිබව පැවසේ.

එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් පවත්වා ගෙනයාම සඳහා මෙම මන්ත්‍රීවරුන් තිදෙනා මෙන්ම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් එක්කර ගත යුතු බව මෙම කපුකමට මැදිහත්ව සිටින එජාප මන්ත්‍රීවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඒත්තු ගන්වමින් සිටින බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top