''රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කැඩීමට සුදානමක්'' - මහින්ද කියයි ''රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කැඩීමට සුදානමක්'' - මහින්ද කියයි
Dec 15, 2018

'TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන' - මහින්ද Featured

රනිල්ගේ ආණ්ඩුව පාලනය කිරීමේ 'රිමෝට්' එක දෙමල ජාතික සන්ධානය අතට පත්ව ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් දෙමළ ජාතික සන්ධානයේ, TNA එක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, TNA එක රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත් ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න එක්සත් ජාතික පක්ෂය, සුළුතරය TNA එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි."

එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවිමට දරන උත්සාහයක් ගැන අදහස් දක්වමින් ඔහු මෙලෙස කියා සිටියේ, තමන් මෙතෙක් දැරූ බව පැවසෙන අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ උත්සවයෙන් අනතුරුව අද (15) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"TNA එක කියන විදියට රට පාලනය කළේ නැතිනම් ඕනම මොහොතක එක්සත් ජාතික පක්ෂ සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්. TNA එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ," යයි ද මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සුදානමක් !

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කැඩීමට සුදානම් වන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා, විධායක ජනාධිපති ධුරය ද අහෝසිකර 2019 දෙසැම්බර් ජනාධිපතිවරණය ද අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ සැළසුම බවට ප්‍රකාශ කළේය.

"ප්‍රශ්නයක් මතුකරලා දින නියමයක් නැතුව 2020 පාර්ලිමේන්තු මැතිවණයත් කල් දාගන්න පුලුවන්. ඒකට තමයි මේ සැරසෙන්නෙ," ඔහු කියා සිටියේය.

"දැන් ජනාධිපතිවරයා මේ අලුත් එක්සත් ජාතික පක්ෂ-දෙමල ජාතික සන්ධාන හවුල සමඟ නොසිටින නිසා ඔවුන් කරන විනාශයෙන් යම් ප්‍රමාණයක් හෝ පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා හිතන්න පුලුවන් වුණත්, ජනාධිපතිවරයාටත් නොදන්වා එක්සත් ජාතික පක්‍ෂය හා දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ මේ හවුලට කරන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා," යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

(මූලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top