OPEN

#

OPEN

#

Dec 18, 2018

රනිල්, මහින්දව හිට්ලර්ට සමාන කළ කාරණය ? Featured

"ගින්දර මැද තියෙන්නේ තාච්චිය. ආප්පය නෙවෙයි. ගින්දරට මුහුණ දෙන්නේ තාච්චිය. ප්‍රජාතන්ත්‍රවාදී ගින්නට අපි මුහුණ දුන්නා. ඒ ගින්න පාලනය කළා. ගින්න නිමන්න අපි දැම්මේ ජනතා පරමාධිපත්‍යය කියන ජලය."

එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 'යුක්තියේ විජයග්‍රහණය' නමින් සඳුදා (දෙසැ 17) කොළඹ ගාළු මුවදොර පිටියේ සංවිධානය කළ ජන රැළිය ඇමතීම ආරම්භ කළේ එලෙසිනි.

ජනාධිපති සිරිසේන ආප්පය ලෙසත් තමන් ආප්පය පිච්චූ තාච්චිය ලෙසත් හැඟෙන පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ මින් පෙර අදහස් දක්වා තිබුණි. අගමැතිවරයා ගාළු මුවදොර පිටියේ රැස්ව සිටි දහස් ගණනක්වූ තම පාක්ෂිකයන් ඇමතුවේ ඊට තවත් අදහසක් එක්කරමිනි.

"මහින්ද රාජපක්ෂ ඇයි තමන්ගේ සුළුතර ආණ්ඩුව ඇති කළේ කියලා කිව්වම මට මතක් වුණේ හිට්ලර් ගැන. හිට්ලරුත් බලයට ආවේ සුළුතර ආණ්ඩුවකින්. කිසි දවසක බහුතරයක් තිබුණේ නැහැ. ඒ සුළුතර ආණ්ඩුවෙන් ඒකාධිපතිවාදයක් ඇති කරලා මිලියන 10ක් මරලා දැම්මා. ලෝක යුද්ධය ඇතිකරා. හිට්ලර් ලෝක යුද්ධයෙන් පස්සේ ජීවත්වුණා නම් එයා ඇමරිකන් අයටයි රුසියන් අයටයි කියනවා, මට ඕන වුනේ මහ මැති වරණයක් විතරයි කියලා."

මහින්ද රාජපක්ෂගේ සුළුතර පිරිස ආණ්ඩු බලය අල්ලා පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට උත්සාහ කළ බවට අගමැති රනිල් වික්‍රමසිංහ රැළිය අමතමින් චෝදනා කළේය.

"ඔය මිනිස්සුන්ව දාන්න ඕනේ පාර්ලිමේන්තුවේද කුස්සියේද කියල මම අහනවා."

"දැන් කියනවා මහ මැතිවරණයක් ඕනේ කියලා. පොහොට්ටුවේ අයයි අපියි ජන්දේ දුන්න 19 වන සංශෝධනයේ ශුද්ධ සිංහලෙන් තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බලය තියෙන්නේ අවුරුදු 4 1/2ට පස්සේ කියලා."

Yukthiyeගාළු මුවදොර පිටියේ සංවිධානය කළ 'යුක්තියේ විජයග්‍රහණය' රැළියඅරමුණ මහමැතිවරණයක් නම් ආණ්ඩුව ලබාගත්තේ ඇයි දැයි ප්‍රශ්න කළ අගමැතිවරයා, කළ යුතුව තිබුණේ මැතිවරණයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම බව සඳහන් කළේය.

"ඇයි ඒක නොකෙරුවේ, මෙතන තිබුණේ මහා කුමන්ත්‍රණයක්, අපි දැන් හැම පක්ෂයෙන්ම අහන්න යනවා කොයි කාලේද මැතිවරණය තියන්න ඕනේ කියලා."

සියලු පාර්ශව එකතුවී මන්ත්‍රීවරුන් 2/3 සහය ලබාගෙන මහමැතිවරණයක් පැවැත්විය හැකි බව රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.

"ව්‍යවස්ථාව කඩලා ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න බැහැ. දැන් ජාතිවාදය වපුරනවා. රට බෙදනවා කියනවා, ඕක අවුරුදු 20ක් කිව්වනේ තව මොනවාද කියන්නේ."

ඒකීය රාජ්‍යයක් පදනම් කරගෙන රටේ සංහිඳියාව ඇති කිරීම පිණිස දේශපාලන විසඳුමක් ගෙන එන බව ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

"අපේ අඩුපාඩුකම් තියෙනවා. අපේ යුතුකම ඒවා නිවැරදි කරගන්න එකයි, දූෂිතයන්ට එරෙහිව පියවර ගන්න එක වේගවත් කරනවා."

 104849387 b0a1cf65 0ba0 47c4 9a09 4f0849484842

ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ :

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ඉදිරියේ එන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය 2/3ක බහුතර බලයක් බලාපොරොත්තුවන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීම සඳහා ජාතික ප්‍රජාතන්තවාදී පෙරමුණ නමින් පක්ෂයක් ළඟදීම ලියාපදිංචි කරන බව පැවසූ අගමැතිවරයා, ඉදිරි මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් ඉදිරිපත්වන බව ද කියා සිටියේය.

මෙම රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ කථිකයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය නොකිරීමට වගබලාගත් ආකාරයක් දක්නට ලැබුණු අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අදහස් දැක්වීමේදී පැවසුවේ තහනම් වචනයක් ඇති බැවින් තමන් එක් පුද්ගලයෙක් ගැන අදහස් නොදක්වන බවය.

 (බීබීසී සිංහල සේවය)

සබැඳි වීඩියෝවක්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top