Dec 18, 2018

කැබිනට්ටුව අදත් නැහැ : නම් දෙකක් වැඩි වෙලා !

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අදත් (18) සිදු නොවනු ඇතැයි අරලියගහ මන්දිර ආරංචිමාර්ග පවසයි.

බොහෝ විට අද (18) දිනය තුළ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි ඊයේ (17) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශකර සිටියද කැබිනට් මණ්ඩලය අද දිවුරුම් නොදෙන බව ඊයේ (17) රාත්‍රීයේ කළ විමසීමකදී එජාප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

මේ අතර කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණ විසින් යෝජනා කෙරෙන නාමලේඛණයට මේවනවිට නම් 32ක් ඇතුළත්ව තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව කිසියම් එක් පක්ෂයක් විසින් පිහිටුවනු ලබන ආණ්ඩුවක සිටිය හැක්කේ උපරිමව කැබිනට් අමාත්‍යවරුන් තිස්දෙනෙකු පමණයි.

ඒ අනුව ඊයේ රාත්‍රී වනවිට නාමලේඛණයට ඇතුළත් කර සිටි කිහිපදෙනෙකුගේ නම් අද දිනය තුළ සංශෝධනය වනු ඇතැයි ද එම දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියි.

 Glperis 670px 25 11 16'' කැබිනට් මණ්ඩලය 30ට වඩා වැඩි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව හා සැලසුම් සහගතව උල්ලංඝනය කිරීමක්'' - පොහොට්ටුවේ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස්මේ අතර ඊයේ (17දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුයේ, 19 වැනි සංශෝධනය යටතේ කැබිනට් මණ්ඩලයේ උපරිම සංඛ්‍යාව 30ක් විය යුතු බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ නීතිය පැහැදිලි කළේය.

''කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 30ට වඩා වැඩි කරන්න බැහැ. සාමාජිකයන් සංඛ්‍යාව 30ට වඩා වැඩි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව හා සැලසුම් සහගතව උල්ලංඝනය කිරීමක්.

19 වැනි සංශෝධනයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා කැබිනට් මණ්ඩලයේ උපරිම සංඛ්‍යාව 30ක් බව. 30ට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ගණනත් එක්ක සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව 70ට වඩා වැඩි වෙන්න බැහැ.

ජාතික ආණ්ඩුවක් හැදුවොත් පමණයි මේ ප්‍රතිපත්තිය බලනොපාන්නේ. ජාතික ආණ්ඩුවක් හැදුවොත් සීමාව බලපාන්නේ නැහැ. ජාතික ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන තියෙන පක්ෂය වෙන දේශපාලන පක්ෂ කණ්ඩායම් හෝ ස්වාධීන කණ්ඩායම් දෙකකට වඩා එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවොත් පමණයි සීමාව බලනොපාන්නේ. අනෙක් සෑම අවස්ථාවකම සීමාවට යටත්ව කැබිනට් මණ්ඩලය හදන්න සිදුවෙනවා.

මේක සම්පූර්ණ විහිළුවක්. වෙනම සලකුණක් යටතේ තරග කළ එකම මන්ත්‍රිවරයා වන අලි සහිර් මවුලානා සමඟ ගිවිසුමක් අස්සන් කළ නිසා ඒ තිහේ සීමාව බලපාන්නේ නැති බව කියමින් අතිශයින් ව්‍යාජ තර්කයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයක් තියෙන බව පේනවා.

 ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද?

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 46 වැනි වගන්තියේ පස්වැනි උප වගන්තියේ ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව සඳහන් වෙනවා.

19 වැනි ව්‍යවස්ථාවේ මෙවැනි සීමාවක් පනවන්න හේතුව මොකක්ද? ශ්‍රී ලංකා ජනතාව තුළ අමාත්‍යවරු රටේ මුදල් කාබාසිනියා කරන තත්ත්වය පිළිබඳව පිළිකුලක් තියෙනවා.

ජනතාව බදු බරින් මිරිකෙන වෙලාවක මේ විදියට සුඛෝපභෝගී ජිවිතයක් ගත කිරීමට කැබිනට් මණ්ඩලයට ඇතුළු වෙන්න උත්සාහ දැරීම සම්බන්ධයෙන් තියෙන්නේ හොඳ ජනමතයක් නෙවෙයි.

ඊට ප්‍රතිචාරයක් වශයෙන් තමයි මේ වගන්තිය 19 වැනි සංශෝධනයට ඇතුළු වුණේ.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top