Dec 18, 2018

කැබිනට්ටුව : 'රනිල්ට හිතුවක්කාර වෙන්න බැහැ, ජනපතිගේ අනුමැතිය අවශ්‍යයි' - ජී.එල්

කැබිනට් මණ්ඩලය පත් කිරීම හා විෂයයන් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට විශාල බලයක් තිබෙන බැවින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හිතුවක්කාර ලෙස කටයුතු කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

ඔහු සඳහන් කර සිටින්නේ රටට සිදුවන අවදානම වැළැක්වීම හෝ අවම කිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගන්නා බවයි.

ඊයේ (17දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

''කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව 30ට වඩා වැඩි කරන්න බැහැ. සාමාජිකයන් සංඛ්‍යාව 30ට වඩා වැඩි කරනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව හා සැලසුම් සහගතව උල්ලංඝනය කිරීමක්.

19 වැනි සංශෝධනයේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා කැබිනට් මණ්ඩලයේ උපරිම සංඛ්‍යාව 30ක් බව. 30ට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ගණනත් එක්ක සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව 70ට වඩා වැඩි වෙන්න බැහැ.

ජාතික ආණ්ඩුවක් හැදුවොත් පමණයි මේ ප්‍රතිපත්තිය බලනොපාන්නේ. ජාතික ආණ්ඩුවක් හැදුවොත් සීමාව බලපාන්නේ නැහැ. ජාතික ආණ්ඩුව කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන තියෙන පක්ෂය වෙන දේශපාලන පක්ෂ කණ්ඩායම් හෝ ස්වාධීන කණ්ඩායම් දෙකකට වඩා එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවොත් පමණයි සීමාව බලනොපාන්නේ. අනෙක් සෑම අවස්ථාවකම සීමාවට යටත්ව කැබිනට් මණ්ඩලය හදන්න සිදුවෙනවා.

මේක සම්පූර්ණ විහිළුවක්. වෙනම සලකුණක් යටතේ තරග කළ එකම මන්ත්‍රිවරයා වන අලි සහිර් මවුලානා සමඟ ගිවිසුමක් අස්සන් කළ නිසා ඒ තිහේ සීමාව බලපාන්නේ නැති බව කියමින් අතිශයින් ව්‍යාජ තර්කයක් ඉදිරිපත් කිරීමේ ප්‍රයත්නයක් තියෙන බව පේනවා.

ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 46 වැනි වගන්තියේ පස්වැනි උප වගන්තියේ ජාතික ආණ්ඩුවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව සඳහන් වෙනවා.

19 වැනි ව්‍යවස්ථාවේ මෙවැනි සීමාවක් පනවන්න හේතුව මොකක්ද? ශ්‍රී ලංකා ජනතාව තුළ අමාත්‍යවරු රටේ මුදල් කාබාසිනියා කරන තත්ත්වය පිළිබඳව පිළිකුලක් තියෙනවා. ජනතාව බදු බරින් මිරිකෙන වෙලාවක මේ විදියට සුඛෝපභෝගී ජිවිතයක් ගත කිරීමට කැබිනට් මණ්ඩලයට ඇතුළු වෙන්න උත්සාහ දැරීම සම්බන්ධයෙන් තියෙන්නේ හොඳ ජනමතයක් නෙවෙයි.

ඊට ප්‍රතිචාරයක් වශයෙන් තමයි මේ වගන්තිය 19 වැනි සංශෝධනයට ඇතුළු වුණේ.

නීතිය හා සාමය අමාත්‍යාංශය ජනපති යටතට :

අලුතින් හදන ආණ්ඩුවෙන් රටට වෙන හානිය ජනාධිපතිතුමා පැහැදිලි කරගෙන තියෙනවා. කැබිනට් මණ්ඩලය පත් කිරීම හා විෂයයන් වෙන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට විශාල බලයක් තියෙනවා. අගමැතිට තනියෙන් වැඩ කරන්න බැහැ.

විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වගන්තියේ 3 වැනි උප වගන්තියෙන් කියනවා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව යටතේ කරන කිසියම් භාරදීමක් කවර හෝ විටෙක වෙනස් කරනු ලැබිය හැක්කේය. එහි වෙනසක් 19 වැනි සංශෝධනයෙන් වෙලා නැහැ.

ඇමැතිවරුන්ට විෂයයන් වෙන් කිරීම, කාටද ඒ විෂයයන් දෙන්නේ කියන එක තීරණය කරන්නේ ජනාධිපතිතුමා.

19 සංශෝධනය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිට තිබිය යුතුයි. එතුමා තමයි ආරක්ෂක අමාත්‍යාංශ යටතේ තිබිය යුතුදේ තීරණය කරන්නේ. නීතිය හා සාමය අමාත්‍යාංශය යටතට පොලිස් දෙපාර්තමේන්තුව පත් කරනවා වෙනුවට ජනාධිපතිතුමාගේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට හිතුවක්කාර ලෙස කටයුතු කරන්න බැහැ. රටට වෙන අවදානම වැළැක්වීම හෝ අවම කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බව අපිට විශ්වාසයි.''

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top