photographic 2
Dec 18, 2018

විපක්ෂනායක ධුරය ගැන 'තවම තීරණයක් නෑ ! : කතානායක තීන්දුව සිකුරාදා !! Featured

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමත් සමග ඔහුට සිය මන්ත්‍රී ධුරය අහිමිවන බවට තමන් මතු කළ විරෝධය හේතුවෙන් විපක්ෂනායකවරයා පත්කිරීම කල් දමනු ලැබූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

සිය විරෝධතා ලිඛිතව ලබාදෙන මෙන් කතානායක කරු ජයසූරිය මහතා ඒ අවස්ථාවේ තමන්ට දැනුම් දුන් බව ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා 'බීබීසී සිංහල සේවය' සමග පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්ෂයට පැමිණීමත් සමග එම සන්ධානයේ කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට පත්කරන බව කතානායක කරු ජයසූරිය මහතා ඊට පෙරාතුව නිවේදනය කළේය.

පාර්ලිමේන්තුව අද (දෙසැම්බර් 18) දහවල් 01.00 ට රැස්වුණු අතර එහිදී එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ අසුන් ගත්හ.

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු බැවින් එම පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ලබා දෙන බව ඒ අවස්ථාවේ කතානායකවරයා පැවසීය.

සන්ධානයේ සාමාජිකයෙකු නොවන බව:

එහෙත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා තවදුරටත් එක්සත් ජනතා සන්ධානයේ සාමාජිකයෙකු නොවන බවට තමන් තර්කයක් මතු කළ බව එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ අනුව ඔහු පවසන පරිදි විපක්ෂනායකවරයා තීරණය කිරීම කතානායකවරයා විසින් සිකුරාදා දක්වා කල් තබනු ලැබ තිබේ.

මේ පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉල්ලීම පරිදි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා මහින්ද අමරවීර මහතා පත්කෙරිණි.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කළ බව ද කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඔක්තෝබර් 26 දිනට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය දැරුවේ ද මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ය.

(මුලාශ්‍රය - බීබීසී සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top