photographic 2
Dec 19, 2018

තොන්ඩමන්ට සහ ඩග්ලස්ටත් කැබිනට්ටුවට ආරාධනා ! Featured

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට (20) දිනය දක්වා තවදුරටත් කල් දමා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් පැවතීම ඊට හේතුව බව එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ පැවති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවට ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ අතර, ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී සංවිධානයට ද රජයට එක්වන ලෙස ආරාධනා කර ඇතැයි පැවසේ.

එම පක්ෂ වල ජ්‍යෙෂ්ඨයන් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවක, අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වන අතර, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය එක් අමාත්‍ය ධුරය බැගින් දරන්නේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 28 කට සීමා වනු ඇත. රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 ක් වේ.

කෙසේ වෙතත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව සීමා කර කැබිනට් නොවන අමාත්‍ය ධුර 10 ක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද වාර්තා වේ.

ජනාධිපති අයෙත් 'අනා ගන්න' හැඩයි !

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා 'නෙත් නිවුස්' වෙත පැවසුයේ, ආණ්ඩුවට සහය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් එහි නිර්දේශ මත ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වුවද හැකි බවත්ය.

"අගමැතිතුමාගේ උපදෙස් අනුව ඇමතිවරු පත් කරන්නේ ජනපතිතුමායි. ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන අනුව එතුමා එතුමාගේ ස්ථාවරයේ ඉඳියි. එතුමාව දැඩි ලෙස විවේචනය කරපු අය...එතුමාගේ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරපු අය සම්බන්ධයෙන් එතුමා යම් පියවර ගනීවී '' රෝහන ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මීට පෙර ආණ්ඩුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ගෙන් කල විමසීමකදී ඔහු සඳහන් කළේ "ජනාධිපතිතුමාට එහෙම බලයක් නෑ. අගමැතිතුමා නම් කරලා දුන්නොත් මේ මේ අයට ඇමති ධූර ලබා දිය යුතුයි කියලා. ජනාධිපතිවරයාට ඒක දෙන්න වෙනවා. කොහොම වුණත් අපි මෙතනට ආවේ තනතුරු බලාගෙන නෙමෙයි."යයි කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ තීරණයට මුළු මධ්‍යම කාරක සභාවේම අනුමැතිය ලැබී ඇති බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top