Dec 20, 2018

කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි : මුදල් හා මාධ්‍ය මංගලට Featured

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය අද (දෙසැම්බර් 20) උදෑසන 8.30ට දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා පැවසිය.

දිවුරුම් දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය පළමු කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බවත් ඔහු බීබීසී සිංහල සේවය සමග කියා සිටියේය.

නව රජයේ කැබිනට් මණ්ඩලය අද (20) පෙරවරුවේ දිවුරුම් දෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පක්ෂය විසින් සිය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමුකර තිබේ.

විදුලිබල සහ බලශක්ති රවිට :

අද පෙ.ව. 8.30ට කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව කැබිනට් රැස්වීම ද පැවැත්වීමට තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරුන් 28 දෙනෙකු අද දිනයේදී දිවුරුම් දීමට නියමිත අතර ඒ අනුව, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය ලෙස සජිත් ප්‍රේමදාස මහතාත්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රාජිත සේනාරත්න මහතාත්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාත්, මුදල් හා මාධ්‍ය අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාත්, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතාත් දිව්රුම් දීමට නියමිතය.

35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් !

කැබිනට් අමාත්‍යවරු සඳහා 35 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් එක්සත් ජාතික පෙරමුණ විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි මධ්‍යම පළාත් සභා සන්ධාන මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා විජයමුණි සොයිාසාගේ නම්ද ඒ අතර ඇති බවයි.

ට්විටර් සටහන 

 ජනපතිට හිමි අමාත්‍යාංශ ?

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් බැවින් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර කැබිනට් මණ්ඩලයට පත් කළ හැක්කේ තවත් ඇමතිවරුන් 28 දෙනෙකු පමණි.

අනෙක් අමාත්‍යවරුන්ට අවස්ථාව සලසා දීම පිණිස අවශ්‍ය නම් තමන් සහ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ස්වෙච්ඡාවෙන් තනතුරු භාර නොගෙන සිටීමට සූදානම් බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

මනෝ ගනේෂන්ගේ ට්විටර් සටහන 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි වගන්තිය අනුව ජනපතිවරයාට තමන් යටතේ තබා ගත හැකි අමාත්‍යාංශ පිළිබඳව පැහැදිලි විධිවිධාන ඇති බව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පවසයි.

ඔහු පවසන්නේ ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර යන විෂයයන් ජනපතිවරයා යටතේ පවතින බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top