Dec 20, 2018

'ජනපති සමග කටයුතු කිරීමට බාධාවක් නෑ' - මංගල Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කටයුතු කිරිමට කිසිදු බාධාවක් නැතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු එබව පැවසුයේ, අද පෙරවරුවේ නව රජයේ මුදල් හා මාධ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදියකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

''ජනාධිපතිතුමාට වෙනම ජන වරමක් තිබෙනවා ආණ්ඩුවට වෙනම ජන වරමක් තිබෙනවා. ඒ ජනවරම්වලට ගරු කරමින් කටයුතු කිරීමට කිසිම බාධාවක් නැ''යයි අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී කියා සිටියේ ය.

2019 වසරේ මුල් මාස හතර සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම හෙට (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ජනවාරි මාසය තුළ නව වසර සඳහා වන අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පැවසිය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

2019 අයවැය ලේඛනය ජනවාරියේ :

‘‘ඔක්තෝබර් මස 26 කළු සිකුරාදා ආරම්භ වෙලා මාසයක් විතර කාලයක් තුළ සිදු වූ ආර්ථික හානිය යළි සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නෙ. රාජ්‍ය සේවක පඩිනඩි, විශ්‍රාම වැටුප්, පාසල් නිල ඇඳුම්, සමෘද්ධි දීමනාව, පොහොර සහනාධාරය ඇතුළු සියලු දේ සඳහා අපි මුදල් වෙන් කර ගත යුතුයි.

ඒ සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අපේ ප්‍රධාන අරමුණයි. 2019 වසරේ පළමු මාස හතර සඳහා වන අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ වගේ ම ජනවාරි මාසය තුළ 2019 වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. ඒ යටතේ ජනතාවට සහන දෙන්න අපි සූදානම්. ''

නමුත් නිත්‍යානුකූල ආණ්ඩුව වගේ බොරු සහන නොවන බව ද පැවසු ඇමතිවරයා,''මහින්ද රාජපක්ෂ මහතා කෘෂිකාර්මාන්තයේ නියැලි පුද්ගලයන්ට බදු සහන දෙනව කියල ප්‍රචාරයක් අරගෙන ගියා. ඇත්තට ම ආදායම් බදු ගෙවන මට්ටමේ ගොවීන් ඉන්නෙ 0.03%ක පමණ පිරිසක්. ඒ විදියේ බොරු සහන වෙනුවට ජනතාවට ඇත්ත සහන දෙන්න අපි සූදානම් ''යැයි ද පැවැසීය.

මිල සුත්‍රය යටතේ නව තෙල් මිල හෙට :

අද පවතින ලෝක තෙල් මිල සලකා බලා මිල සුත්‍රය අනුව තෙල් මිල යළි හෙට දින සමාලෝචනය කිරීමට නියමිත බවද ඇමතිවරයා පැවසිය.

''ඔක්තෝබර් 26 වෙනිද පටන් ගත්ත කළු සිකුරාදාවෙන් පස්සෙ ගෙවුණ මාසෙක කාලය තුළ ජීවන වියදම ඉහළ ගියා, ඔක්තෝබර් මාසෙ 26 වෙනිදා වෙද්දි රුපියල් 173 මට්ටමේ තිබුණ රුපියලේ අගය අද වෙද්දි 180 බවට පත් වෙලා. මේ සියල්ල යථා තත්ත්වයට පත් කිරීම අපේ අරමුණ'' යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

පසුගියදා ආණ්ඩුවට සහය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයියා මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේ ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top