photographic 2
Dec 23, 2018

CIC වල් නාශකයකින් පොළොන්නරුවේ කුඹුරු විනාශයි ! Featured

සීඅයිසී සමාගමට අනුබද්ධිත ක්‍රොප් ගාර්ඩ් පුද්ගලික සමාගම (cic crop guard (pvt) ltd) විසින් අලෙවි කරනු ලබන නව වල්නාශකයක් කුඹුරුවලට යෙදීම නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු විනාශ වෙමින් ඇතැයි එම ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති.

ලංකාපුර, මැදිරිගිරිය හා පරාක්‍රම සමුද්‍රයේ ගොවි ව්‍යාපාරයේ අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් මෙමගින් විනාශ වීමට පටන් ගෙන ඇති බව පැවසේ.

අදාළ සමාගම ප්‍රථම වතාවට හදුන්වා දී ඇති ‘‘ලෝයඩ්’’ නමැති වල්නාශකය ලීටරයක් රුපියල් 7300ක් වැය කරමින් ගොවීන් වගාවන්ට යොදා ඇත්තේ වල් මර්දනය කිරීම සඳහාය.

එහිදී ගොජිරි පමණක් මර්දනය වී ඇති අතර ගොයම නිසරු වීම නිසා ගොවීන් දැන් අර්බුදයකට ලක්ව ඇත.

ඇතැම් ගොවීන් සිය වගාවන්ට මූලික පොහොර යොදා වගා ආරම්භ කර ඇති අතර මෙම තත්ත්වය නිසා යූරියා ද නියමිත දින වන විට යොදා ඇත. එහෙත් ගොයම වර්ධනය නොවීමෙන් යළි සී සා වගා කිරීමටද සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් බී.ඒ. සුමිත්ගෙන් කළ විමසීමේ දී ඒ මහතා පැවසුවේ එම වල්නාශකයේ ගැටලුවක් නොමැති බවත් ප්‍රමාණයට වඩා යෙදීමත් ඒවා යන්ත්‍රානුසාරයෙන් යෙදීම නිසා මෙම ගැටලුව ඇතිවී තිබෙන බවත්ය. මෙම තත්ත්වය දින කිහිපයකින් වෙනස් වන බවද ඒ මහතා පැවැසීය.

මේ අතර, ක්‍රොප් ගාර්ඩ් පුද්ගලික සමාගම (cic crop guard (pvt) ltd) ආයතනයේ සාමාන්‍යාධිකාරී කුමාර උබේසේකර මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා ඇත්තෙ පැමිණිලි ලැබුණු ප්‍රදේශවල නිරීක්ෂණය කළ බවත්, එම හානි සිවු ඇත්තේ වල්නාශකයේ වරදකින් නොවන බවත්, වැඩිදුර මාත්‍රාවක් යෙදීම නිසා මෙය සිදුවී ඇති බවත් දැනට එවැනි වගාවන්ගෙන් සියයට 90ක් යථා තත්ත්වයට පත්ව ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top