Dec 28, 2018

'රට දෙකඩ කිරීමේ තුන්වැනි සැලැසුමක්' - ගුණදාස අමරසේකර Featured

විදේශ සාම හමුදාවක් මෙරටට එවා රට දෙකඩ කිරීමේ තුන් වැනි සැලැස්ම බෙදුම්වාදීන් විසින් මේ වන විට දියත් කර ඇතැයි ජාතික සංවිධාන එකමුතුව කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවැසීය.

ප්‍රභාකරන් යොදවා මේ රට දෙකඩ කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ පසු ෆෙඩරල් ව්‍යවස්ථාවක් හරහා ඒ අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කළ බෙදුම්වාදීන් එම ක්‍රියාවලියේ තුන් වැනි සැලැස්ම ලෙස රට තුළ ජාතීන් අතර ජාතිවාදී, ආගම්වාදී ගැටුමක් නිර්මාණය කර විදෙස් සාම හමුදා එවා සුඩානයට හා කොසෝවට කළ දේ අපේ රටෙත් කිරීමට සූදානම් වන බවද ඒ මහතා කියා සිටියේය.

රාජගිරිය, නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ ඊයේ (27දා) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඒ මහතා මේ බව පැවැසීය.

අලුත්ගම - මහනුවර හා මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ සිද්ධීන් සංවිධානාත්මකව සිදු කළ ඒවාද යන්න පිළිබඳ වහා සොයා බලන ලෙස රජයෙන් බල කර ඉල්ලා සිටින බවද ගුණදාස අමරසේකර මහතා අවධාරණය කළේය.

නෝර්වේ රාජ්‍ය ප්‍රමුඛ බටහිර රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ තුන්වැනි සැලැස්ම ආරම්භ කර ඇති නිසා ජාතිවාදී, ආගම්වාදී ලෙස තැන තැන ඇති වන සිද්ධීන් පිළිබඳව අවදියෙන් සිටීම ඉතා වැදගත් යැයිද ඒ මහතා කියා සිටියේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top