Sathosa

Jan 01, 2019

''මලික්ගේ වැය ශීර්ෂයට ඡන්දය නෑ'' - එජාපයේ 08ක් කියයි !

ඉදිරි අයවැයේදී සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 8 දෙනකු තීරණය කර ඇති බව 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.

මලික් සමරවික්‍රම මහතා අමාත්‍යාංශය මෙහෙයවන ආකාරය, පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉතා හොඳින් නිරීක්ෂණය කළ බවත් එම අමාත්‍යාංශයට ගොස් සිදුකරන ලද සොයා බැලීම්වලදී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා, ජනතා සේවය වෙනුවෙන් අමාත්‍යාංශය කිසිදු මැදිහත්වීමක් නොකරන බව සනාථ වූ බවද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් 'මව්බිම'ට ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදෙන සමරවික්‍රම අමාත්‍යවරයා ජනතාවගේ ගැටලු විසඳන්නේ කෙසේද කියා පසුපෙළ එජාප මන්ත්‍රිවරුන් තුළ විශාල ප්‍රශ්නයක් හටගෙන ඇති බවද එම මන්ත්‍රිවරයා සඳහන් කරයි.

අහංකාර ඇමැතිලා ගැන හෙළිදරව්වක් !

මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා 'දිවයින' පුවත්පතට පවසා ඇත්තේ, හමුවීමටවත් අවස්ථාවක් නොදෙන නව අමාත්‍යවරුන් කිහිප දෙනකුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශකයක් සිදුකරන බවයි. 

එම අහංකාර ඇමැතිවරුන් පිළිබඳව මීළඟ එජාප කණ්‌ඩායම් රැස්‌වීමේදී නම් වශයෙන් සඳහන් කොට විවේචනාත්මක ප්‍රකාශයක්‌ සිදු කරන බව ද හෙතෙම සඳහන් කරයි.

මහජන නියෝජිතයන් ලෙස තම පාක්‌ෂිකයන්ගේ අවශ්‍යතා සඳහා ඇතැම් ඇමැතිවරුන් හමුවීමට ගිය අවස්‌ථාවලදී මුහුණ දුන් කටුක අත්දැකීම් පිළිබඳව එහිදී තොරතුරු කියා සිටින බව පවසන ඒ මහතා එවැනි අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවලදී කිසිදු සහායක්‌ නොදෙන බව ද වැඩිදුරටත් කියා සිටියි.

පුස්වෙඩිලිකාර ඇමතියන් 06ක් !

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා ‘මව්බිම’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසන්නේ, පාර්ලිමේන්තුවට, තෙවැනිවරට තේරී පත් වූ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 5 දෙනකුට පමණ කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදී එක්සත් ජාතික පක්ෂයේ පුස්වෙඩිලිකාරයන් 6 දෙනකුට රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම බරපතළ අසාධාරණයක් බවත් තමන් මේ පුස්වෙඩිලි කාරයන් 6 දෙනා ගැන ළඟදීම රටට හෙළි කරන බවත්ය.

මාධ්‍ය සන්දර්ශන පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යම් යම් බලපෑම් කරමින් සන්දර්ශන පවත්වන පුස්වෙඩිලිකාරයන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් යැයි කියාගනිමින් ගෙන යන මෙම නාඩගම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ප්‍රතික්ෂේප කරන බවද විජේමාන්න මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය ගැන තමා දැඩි අවධානයකින් පසුවන බවත් දිගටම තමාට එක්සත් ජාතික පක්ෂය තුළ ආසාරණකම් සිදුවෙනවා නම් ඊට එරෙහිව තමන් ළඟදීම දැඩි අරගලයක් ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

 ඇලෝසියස්ලගේ හිතවතුන්ටත් ඇමතිකම් :

 ‘පක්ෂය වෙනුවෙන් කෙළින් ඉන්න මිනිස්සුන්ට නායකයෝ කැමැති නැද්ද කියලත් හිතෙනවා. මේ දැන් කෙටි කාලීන ආණ්ඩුවෙත් තනතුරු දීල තියෙන අය අතර ඇලෝසියස්ලගෙ ප්‍රශ්න තියෙන, චෙක් ප්‍රශ්න තියෙන, චෝදනා තියෙන අයත් ඉන්නවා. මේවා රටේ ජනතාව අනුමත කළ දේවල් නෙවෙයි.

පසුගිය වසර තුනක ආකාරයට මේ කෙටි කාලීන ආණ්ඩුවත් කටයුතු කළොත් ආයෙ අපි කාටවත් උත්තර නැති වෙනවා. නමුත් අපට තවත් කල් තියෙනවා. තවත් අමාත්‍ය ධුර තිබෙනවා. ඒවා රටේ ජනතාවට පාක්ෂිකයා අනුමත කරන අයට ලැබෙයි කියල හිතනවා. ඉදිරි සති කීපය මමත් ඒ පිළිබඳ බලාපොරොත්තු සහගතව ඉන්නවා. ඒක එහෙම නොවුණොත් හොඳ සෙල්ලමක් බලාගන්න පුළුවන් වේවි’

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top