Jan 02, 2019

"දේශපාලනය වෙනුවට යහපාලනය හරියන්නේ නෑ" - රවී

සිය අමාත්‍යංශය යටතේ වන ආයතන මේ වන විටත් පාඩු ලබන ආයතන බවට පත්ව ඇත්තේ තීන්දු ගැනීමේ වරදක් නිසා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. යම් ආකාරයක වෘත්තීය පදනමක් මත තීන්දු ගන්නා නමුත් යම් යම් අවස්ථාවලදී සෘජු දේශපාලන තීන්දු නොගැනීම මේ සඳහා බෙහෙවින් බලපා ඇති බව හෙතෙම පෙන්වාදෙයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, 2019 වසර වෙනුවෙන් සිය අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි. අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුහ.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"සෑම අවස්ථාවකදීම වෙලා තියෙන්නේ, පාරිභෝගිකයාට බර පැටවෙන සේ මිල වැඩිකිරීමක් මිසක් කවදාකවක් මිල අඩු කරන්න කියලා කතා කරලා නැහැ. දේශපාලන මතයකට විදුලි බිල අඩු කරනවා කියලා කිව්වොත් ඒක විහිළුවක් බවට පත් වෙනවා. නමුත් අපි අඩු කරනන් පුළුවන් මාර්ගයකට පිවිසිය යුතුයි".

"යම් දෙයක මිලක් සදහා සහනයක් දෙනවා කියන්නේ කව්රු හරි ගෙවනවා කියන එකයි. දේශපාලඥයෝ ඇවිත් අරක මේක අඩු කරනවා කියලා ලේසියෙන් කියනවා. අඩු කරනවා කියන්නේ කව්රුහරි ගෙවන්න තියෙනවා කියලයි. ඒ නිසා නිකරුනේ විදුලි බිලට සහනයක් දෙනවා කියන්නේ නැතිව, මිල වැඩි නොකර, කාර්යක්ශමතාවක් ඇති කරලා ඉදිරියට එයින් ප්‍රතිලාභයක් ඇතිකරගන්න මාර්ගයක් සැලසිය යුතුයි".

"මේ අවස්ථාවේ මම ඉතා වගකීමෙන් කියන්නේ, ජනතාවගේ පිට බර පටවන්නේ නැතිව අපි මේ ක්ෂේත්‍රයේ වැඩකටයුතු කරනවා කියලයි. අපිට අවශ්‍ය වන්නේ ලක්ෂ 70ක විදුලි පාරිභෝගිකයා පීඩනයට ලක් නොවන ආකාරයෙන් කටයුතු කරන්නයි. ඔවුන්ට සහන සලසන්නයි. ඒ නිසා කිසිම කෙනෙක් අනියත බියක් ඇතිකරගත යුතු නැහැ. අපි අනිවාර්යයෙන්ම ඒ බිය නැති කරනවා. විෂයබාර අමාත්‍යවරුන් හැටියට අපි තියුණු සටනක් කරනවා ඒ බිය නැති කරන්න".

"පිටස්තරයෙන් විශාල බලපෑම් තිබෙන අමාත්‍යාංශයක් මේක. දක්ෂයෝ වැඩ කරන තැන්වල අනිවාර්යයෙන්ම දූෂණ ලේබල් ගැහෙනවා. එවැනි අභියෝග වලට අපි නොබියව මුහුණ දියයුතුයි. අපි නිතරම එකට වැඩකළොත් ගැටලු ඇති වෙන්නේ නැහැ. වැඩ කරන කෙනා අතින් තමයි බඩු කැඩෙන්නේ. ඒ නිසා චෝදනා වලට බයෙන් තීන්දු ගන්න බිය වියයුතු නැහැ. එසේ නැති වුණොත් අදක්ෂ අමාත්‍යාංශයක් වෙනවා".

"එක්සත් ජාතික පාක්ෂිකයන්ට පසුගිය වසර වල අපෙන් වැඩක් සිදුවුණේ නැහැ කියලා කියනවා. පාක්ෂිකයන්ට සිදුවූ ඒ වැරැද්ද අපි ඉදිරියේදී නිවැරදි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව තමයි අනිත් අය දේශපාලනය කරද්දි අපි යහපාලනය කිරීම" යැයි පැවසීය.

Ravi1 670px 19 02 02

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top