Jan 09, 2017

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික ඡන්ද 27% ක් තිබෙන බව 'බීබීසී සංදේශය' කළ විමසීමකදී සඳහන් කළ අමාත්‍යවරයා, ඒ ඡන්දවලින් අති බහුතරය දිනාගැනීමේ හැකියාව තිබෙන එකම අපේක්ෂකයා වත්මන් ජනපතිවරයාය යන්න පක්ෂයේ මෙන්ම තමන්ගේද ස්ථාවරය බවත් සඳහන් කළේය.

පක්ෂයේ එම තීන්දුව පිළිබඳව මධ්‍යම කාරක සභාවේ මුලසුන හෙබැවූ ජනාධිපතිවරයා කිසිදු අදහසක් පළ නොකළ බවත් ඔහු පැවසීය.

2015 ජනවාරි 09 වැනි දින පදවියේ දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා, යළිත් වරක් ජනපතිවරණයකට ඉදිරිපත් නොවන බවට ප්‍රතිඥාවක් දුන්නේය.

එහෙත් අමාත්‍ය අමුණුගම පවසන්නේ, වර්තමානයේ දේශපාලන වාතාවරණය වෙනස් වී තිබෙන බවයි.

13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් :
පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතලද පවරා දෙමින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

අමාත්‍ය අමුණුගම සඳහන් කරන පරිදි, නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනු වෙනුවට වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු අතර, ජනමත විචාරණයක් කැඳවිය යුතු නැති බව පක්ෂයේ ස්ථාවරයයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top