Jan 07, 2019

"වැරැද්දක් වී ඇත්නම් නීතිය හමුවට යන්න"

වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදුකීරීමට යන බවට පැතිර ඇති පුවත් පිළිබඳව ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිලිබද වාර්තාවක් කඩිනමින් තමාවෙත ඉදිරිපත්කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යංශ ලේකම්වරයාට හා සමූපාකාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විසින් සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිකොට තිබියදී ඒවායේ දත්ත උපයෝගී කරගනිමින් සමූපාකාර දෙපාර්තමේන්තුව යටතේ සමාගමක් ලියාපදිංචි කොට සියයට 7.5 ක පොලී අනුපාතයක් මත චීනයේ යුනාත් නැමැති ආයතනයකින් රුපියල් කෝටි එක්දහස් එකසීය තුනක (1103) ණය මුදලක් ලබා ගැනීමේ සැලසුමක් ඇති බවට ගොවි සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙකු හා වී මෝල් හිමියන්ගේ සංගමයේ කිහිප දෙනෙකු විසින් පසුගිය සතියේදී මාධ්‍ය හමු පවත්වමින් ප්‍රකාශ කොට තිබුණි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙලෙස පැවසීය.

"ගොවි සංවිධාන නියෝජිතයින් හා වී මෝල් හිමියන් කිහිප දෙනෙකු මගේ නමද යොදාගනිමින් මේ කරනු ලබන චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මම සමූපාකාර ක්ෂේත්‍රයේ දියුනුවට මිස සමුපකාර ක්ෂේත්‍රයේ පරිහානියට කටයුතු කරල නැහැ. මේ චෝදනාව දේශපාලනික වශයෙන් මාව අපහසුතාවට පත්කරන්න හදන චෝදනාවක්. පසුගිය මාස දෙකක කාලය තුල රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කලු පැල්ලමක් එකතුකරන්න පිරිසක් උත්සාහ කරද්දී ජනතාවගේ පැත්තේ හිදිමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම මගේ ඇමති ධූරය පවා නැතිකරගත්තා. ඒවා නොරුස්සන ඇතැම් පිරිස් විසින් මේ විදියට අසත්‍ය ප්‍රකාශ පතුරනවා කියලයි මට හිතෙන්නේ.”

"කොහොම නමුත් මේ චෝදනාව පිලිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වල ඒ පිළිබද වාර්තාවක් මට කඩිනමින් ලබාදෙන්න කියල මම අමාත්‍යංශ ලේකම්වරයාට හා සමුපකාර දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට මේ වනවිටත් දැනුම්දීලයි තියෙන්නේ. මේ මාධ්‍ය හමු පවත්වමින් ඉන්න පිරිසගෙන් ඉතාකාරුණිකව මම ඉල්ලා සිටින්නේ ගැටලුවක් ඇත්නම් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලයි."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top