Jan 07, 2019

අයථා ලෙස දරුවන් ගත්තැයි සවුත්ලන්ඩ් විදුහල්පතිනියට චෝදනා ! Featured

ගාල්ලේ, සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයට ව්‍යාජ ලේඛන මත දරුවන් පිරිසක් පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගෙන ඇතැයි විරෝධතාවක නිරතව සිටින දෙමව්පියන් පිරිසක් එම විදුහලේ විදුහල්පතිනියට චෝදනා කර සිටී.

ගාල්ල වෙල්සන්පුර ස්ථිර පදිංචි තම දරුවන් කොටුව සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහලට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් ඉහත කී දෙමව්පියන් විසින් විරෝධතාවක් ආරම්භ කරනු ලැබ ඇත.

පසුගිය බදාදා (ජනවාරි 02) සිට ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට දින 06 ක් ගත වී ඇතත් තවමත් සිය දරුවන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව දෙමව්පියෝ පවසති.

කෙසේ නමුත් ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

දෙමව්පියන්ගේ චෝදනා

"පළමු ශ්‍රේණියට ළමයින් පාසලට ඇතුළත් කර ගැනීමට අයදුම්පත් යොමු කළත් පැවති සම්මුඛ පරික්ෂණය සඳහා කැඳවීමක් නොලැබුණු නිසා පාසලට ගොස් ඒ පිළිබඳව විමසුවාම ඔයාලට අයදුම්පත් කැඳව්වේ නැද්ද කියලා අහලා අපේ නම් ටික ලියාගෙන ගිහින් කැඳවීමක් කරන බව දැනුම් දුන්නා," යනුවෙන් පාසල අහිමි දරුවෙකුගේ පියෙකු වන සුදේශ් ජයශාන්ත පෙරේරා සඳහන් කළේය.
"පසුව ඊළඟ දින අපිට ලියුමක් ලැබුණා දවස් පහකින් සම්මුඛ පරික්ෂණ තියනවා කියලා. ඒ අනුව අපි පාසලට ගියාම අපේ ෆයිල් එක බලලා ඔයාලට රජයේ බලපත්‍රනේ කියලා අපේ ෆයිල් එක පැත්තකට විසිකරලා දාලා, 'ඔයාලට මේකට එන්න බැහැ ඔයාල අනවසර පදිංචිකරුවන්' කියලා අපිව පැත්තකට කරලා දැම්මා.”

"අපිට තියනවා අසුගණන් වල දීපු බලපත්‍රයක් අපිට ප්ලෑන් එකක් තියනවා, නගර සභාවට වරිපනම් ගෙවනවා, විදුලි බිල් ඇතුළු සියලුම දේවල් තිබෙනවා. අපේ ලොකු ළමයි මෙම පාසලට යනවා. පිරිමි ළමයි ලඟම පාසල්වලට යනවා. මගේ බිරිඳ අධ්‍යාපනය ලැබුවෙත් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ මෙම බලපත්‍රයට තමයි මගේ බිරිඳ මෙම පාසලට ඇතුලත් වෙලා තියෙන්නේ. මේක බොරුවට චක්‍ර ලේඛනය කියනවා," යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  105087675 c3f4c1c5 2ccd 4fd9 b444 db1241ee29b7 දරුවොත් විරෝධතාවයේ...

"අපිව සම්මුඛ පරික්ෂණ මණ්ඩලයට කැඳේව්වේ නැහැ. ඊට පස්සේ අපි ඉස්කොලේන් ඇවිල්ලා ඇහුවා ඇයි අපිට ලියුම් එව්වේ නැත්තේ ? ඇයි අපිව සම්මුඛ පරික්ෂණයට කැඳේව්වේ නැත්තෙ කියලා. ඊට පස්සේ කිව්වා පොඩ්ඩක් අහලා කියන්නම් කියලා. පස්සේ ඊළඟ දින ලියුම ආව සිව් ගුණයට අයත් නැහැ කියලා. ඊට පස්සේ අපි ලියුමක් දැම්මා ඇයි අපි සිව් ගුණයට අයිති නැත්තේ?. අපි ස්ථිර පදිංචි අය අපේ ලොකු ළමයි යන්නේත් මේ ලියවිලිවලට කියලා ලියුමක් දැම්මා. ඊට පස්සෙ අපිට සම්මුඛ පරික්ෂණයට කැඳවල තිබ්බා. ඒකට ගියාට පස්සේ විදුහල්පතිනිය ෆයිල් එක බලලා කිව්වා ඔයාලට ඔප්පු ප්‍රශ්න තියෙන්නේ ඔයාලව කැඳවන්න බැහැ කියලා. එක ලකුණක්වත් දුන්නේ නැහැ අපිට," පාසල අහිමි ළමයෙකුගේ මවක් අදහස් දක්වමින් පැවසුවාය.

"අපි ආණ්ඩුකාරවරයා ළඟට ගියාම, ස්ථිර පදිංචියට ඔප්පු අනවශ්‍යයි, ඒ නිසා ළමයි ගන්න කියලා විදුහල්පතිනියට ලිඛිතව නියෝගයක් කළා. ඒ ලියුම විදුහල්පතිනියට බාර දුන්නා ඒ ලියුම අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කළා කිව්වා. මේ වනතුරුත් පිළිතුරක් ලැබුණේ නැහැ. ආණ්ඩුකාරවරයා නියෝගය දුන්නේ විදුහල්පතිනියට මිසක් අධ්‍යාපන අමාත්‍යංශයට නෙවෙයි," යනුවෙන් පාසල අහිමි ළමයෙකුගේ මවක වන ඉසංකා සුරංගි කියා සිටියාය.
විදුහල්පතිනියගේ ප්‍රතිචාරය

 

 105087677 fa9d8537 97d4 4b0e 8f44 48d995c649d3ආණ්ඩුකාරවරයා විසින් ලබා දෙන ලද ලිපිය

එම චෝදනා ගැන ප්‍රතිචාරය දක්වමින් ගාල්ල සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් කියා සිටියේ, "2018 චක්‍ර ලේඛයේ ඔප්පුවක් නොමැති නම් අවම වශයෙන් විදුලි බිල්, වතුර බිල්, වරිපනම් සහතිකය සහ තමන්ගේ උත්පැන්නයේ තියනවා නම් සම්මුඛ පරික්ෂණයට ලක් කළා. මේ කියන අයට එහෙම කිසිවක් නැහැ," යනුවෙනි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ දරුවන් පිරිසක් තෝරාගත් බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පතිනිය "මම නියමිත නිවරැදි ලේඛන තියන සියලුම දෙනා සම්මුඛ පරික්ෂණයට ලක් කළා," යනුවෙන් සඳහන් කළාය.

"මෙම චෝදනාවලට ලක්වන අයට මැතිවරණ ඡන්ද තියනවා. ලියාපදිංචි කළ බදු ඔප්පු තියනවා. නියමිත ලේඛන තිබෙන නිසා ඒ අය සම්මුඛ පරික්ෂණයට ලක්‍ කර තේරිලා සිටිනවා.”

"චක්‍ර ලේඛය අනුව සුදුසුකම් සපුරලා නැහැ. නමුත් ආණ්ඩුකාරතුමා මට ගන්න කියලා ලිපියක් එවපු නිසා මම පසුගිය දෙසැම්බර් 30 වෙනිදා ජාතික පාසල් අධ්‍යක්ෂකවරයාට ඒ ලේඛන ටික බාරදුන්නා. ඒ මහතා පිළිතුරක් දෙන්නම් කිව්වා කණ්ඩායමක් වශයෙන් එකතුවෙලා," යනුවෙන් ද විදුහල්පතිනිය සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top