OPEN

#

OPEN

#

Jan 08, 2019

'චක්‍රලේඛය උල්ලංඝනය කර 'සුරක්ෂා' පෞද්ගලික සමාගමකට' Featured

පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණය රාජ්‍ය මුදල් පිළිබඳ අංක 04/2015 දරන චක්‍රලේඛය උල්ලංඝනය කරමින් විදේශීය රක්ෂණ ආයතනයකට ලබාදී ඇතැයි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අභ්‍යන්තර විකුණුම් නිලධාරී සංගමය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යවමින් චෝදනා කරයි.

එම රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව රජයේ ආයතනවල රක්ෂණ කටයුතු සඳහා මිල ගණන් කැඳවිය යුත්තේ රජය සතු රක්ෂණ ආයතන වෙතින් පමණක් බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය එය නොතකමින් සුරක්ෂා සිසු රක්ෂණ සඳහා පෞද්ගලික ආයතනවලින්ද මිල ගණන් කැඳවා ඒ අනුව විදේශීය සමාගමක් වන 'ඇලියන්ස්' සමාගමට එම රක්ෂණය ලබාදී ඇති බවත් එම චක්‍රලේඛය උල්ලංඝනය කිරීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරෙන බවත් එහි අවධාරණය කර තිබේ.

රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව කටයුතු කිරීමේදී රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ වෙනත් අපචාරවල යෙදීම නතර වන බවත්, මෙම රක්ෂණ පුද්ගලික ආයතනයකට ලබාදීම තුළ එම විනිවිදභාවය අහෝසිවන බවත් එහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම තීරණය තුළින් රාජ්‍ය බදු මුදල් විදේශයකට යෑම අනිවාර්ය බවත් රුපියල ඉතා අඩු අගයක පවතින මෙම අවස්ථාවේ එය ඉතා හානිදායක බවත් එහි දැක්වේ.

කැබිනට් අනුමැතිය :

කෙසේවුවද පාසල් දරුවන් උදෙසා පිරිනමන 'සුරක්ෂා රක්ෂණාවරණය' පසුගිය වසරට වඩා වැඩි ප්‍රතිලාභ රැසක් සමඟින් මේ වසර සඳහාද පිරිනැමීමට ඊයේ (07දා) කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ වසරේ සිට පාසල් සිසුදරුවන්ට පමණක් නොව ලක්ෂ 45ක් පමණ වන පාසල් දරු දැරියන්ගේ මවුපියන්ටද මේ රක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභ හිමි වේ.

පාසල් දරුවකුගේ මවගේ හෝ පියාගේ හෝ ස්වාභාවික මරණයකදී රුපියල් ලක්ෂයකට අධික මුදලක් පිරිනමන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

පාසල් ශිෂ්‍යයකුට රෝහල්ගත වීමේදී දිනකට ගෙවූ රුපියල් දහස මේ වසරේ සිට රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීම, ඇතුළු ප්‍රතිලාභ රැසක් මේ වසරේ සිට ඉහළ නංවා ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

ටෙන්ඩර් පටිපාටි අනුව - අඩුම ලංසුවට :

මේ වසරේදී රක්ෂණ පිරිනැමීමේ සමාගම ලෙස පෞද්ගලික සමාගමක් තෝරාගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ටෙන්ඩර් පටිපාටි අනුව ක්‍රියාත්මක වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ගිය වසරේදී මේ රක්ෂණාවරණය සඳහා රජය රුපියල් මිලියන 2700ක් වැය කළද සිසු දරුවන් මින් ප්‍රතිලාභ ලබාගෙන තිබුණේ රුපියල් මිලියන 400ක් පමණකැයිද ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රක්ෂණ සමාගම එහිදී ප්‍රතිරක්ෂණ කටයුතු සිදු කරද්දීත් රුපියල් මිලියන 2700ක විශාල මුදලක් විදෙස් රටවල්වලට ඇදී ගිය බවද ඇමැතිවරයා පැවැසුවේය.

ටෙන්ඩර් කැඳවා මෙවරද අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා රක්ෂණ සමාගම සුරක්ෂා රක්ෂණාවරණය සඳහා රක්ෂණ සමාගම ලෙස තෝරා ගත්තද අභියාචන මණ්ඩලයේදී එම ටෙන්ඩරය අඩුම ලංසුවට ලබාදීමට තීරණය වීම නිසා එය පෞද්ගලික ආයතනයක් වෙත ලබාදීමට තීරණය වූ බවද ඔහු කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top