photographic 2
Jan 09, 2019

වල්නාශක ගහලා රජරට ගොයම ඉවරයි

මෙවර මාස් කන්නයේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරුවල වල් මර්දනය කිරීම සඳහා භාවිතා කරන ලද වල් නාශක තෙලක් ඉසීම හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයට අයත් කුඹුරු රැසක් විනාශ වීමේ අවදානමට ලක්ව ඇති බව එම ව්‍යාපාරයට අයත් ගොවීන් පවසයි.

මෙම වල් නාශකය ඉසීමෙන් දින 5 කට පසු ගොයම බාලවීමට පටන්ගෙන ඇති අතර පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ කුඹුරු අක්කර 50කට වැඩිය මේ වන විට විනාශයට පත්වෙමින් යන බව ගොවීහු සඳහන් කළහ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ එම්.රත්නායක (50) ගොවි මහතා මෙසේ පැවසීය.

"අපේ කෘෂිකර්ම රැස්වීමකදී ඇවිල්ල තමයි මේ වල් තෙල අලු‍තෙන් කියලා හඳුන්වලා දුන්නේ, ඉතිං අද අපි වගා කරලා තියෙන්නේ කීරි සම්බා. මේ වගාව දැන් ගොඩක් බාල වෙලා තියෙනවා. ඒ මාසයයි දවස් ගණනක් ගත වේලා තියෙද්දී ගොයම මැරීමේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. පළමු අදියරේ පොහොරත් අපි මේ ගොයමට ගහලා තියෙන්නේ. දැන් අපි කාටද මේ කතාව කියන්නේ. ඔක්කොම ගොයම කළු පැහැ වෙලා තියෙන්නෙ. භාගෙට භාගයක් මගේ අක්කර දෙකක් විනාශ වෙලා ඉවරයි. අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා තමයි මේ කියන්නේ".

අඹන්ගඟ ප්‍රදේශයේ ගොවි මහත්මයකු වන ආර්.එම් රත්නායක (57) මහතා මෙසේ කීවේය.

"පොළොන්නරුවේ කුඹුරු අක්කර 2500ක් විතර මේ තත්ත්වයත් එක්ක විනාශ වෙලා තියෙනවා. නමුත් මේකට විකල්පයක් තාම හඳුන්වලා දීලා නැහැ. අපි දැන් කෘෂිකර්ම බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. නමුත් අපිට තවම කිසිම දෙයක් මේ සම්බන්ධයෙන් කියලා නෑ. අපි මේ තෙල් ගැහුවේ ගොයම මරන්න නෙමේ වල් මරන්න. නමුත් ඒක නෙමේ වෙන්නේ. ගිය කන්නේ කුඹුර විනාශ වුණා කීඩෑවෝ ගහලා. දැන් මේ ප්‍රශ්නය ආවා. ඉතින් මොකක්ද අපි කරන්නේ කියලා අපට තේරෙන්නේ නෑ".

එස් .ඒ ඒකනායක ගොවි මහතා තම විනාශ වූ ගොයම් ගස් උගුලවා පෙන්වමින් මෙසේ කීය.

"මේ වල් තෙල් කියන බෙහෙත් ජාතිය වෙළෙඳපොළට දාන්නේ කෘෂිකර්ම නිලධරීන්ගේ අනුමැතියෙන්. ගොවීන්ට මිලදී ගන්න, කෘෂිකර්ම නිලධාරීන් අනුමත කරලා නමුත් එහෙම අනුමත කරපු දෙයකින් අපිට මෙහෙම විනාශයක් වෙනවා නම් අපි මොකක්ද කරන්නේ. අපි දැන් ගොඩක් ණය වෙලා තියෙන්නෙ. අපිට මෙහෙම විනාශයක් වුණාම මොකක් හරි තක්සේරු කරලා වන්දි මුදලක් හරි ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ".

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top