Jan 10, 2019

'ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රි' - මහින්ද කියයි : බැසිල් වෙන කතාවක් කියයි  Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා යැයි ශ්‍රී ලනිප මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා පැවැසීය.


ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියලු දෙනාගේ සහාය ඇතිව මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතාවම ඉදිරිපත් කරන බවද ඒ මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (09දා) කියා සිටියේය.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලනිපයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රතිශතය සැලකිල්ලට ගත් පසු සියයට 57ක පමණ ප්‍රතිශතයක් ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ලැබෙන බවද සමරසිංහ මහතා පැහැදිලි කළේය. 

ජනාධිපතිවරයාගේ නිල කාලය නොවැම්බර්, දෙසැම්බර් වන විට අවසන් වන බවත් 2020 ජනවාරි 8ට පෙර ජනාධිපතිවරණයක් පවත්වා අලුත් ජනාධිපතිවරයකු පත්කරගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2019 ජනවාරි 8 වැනිදා සිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන බවද සමරසිංහ මහතා පැවැසීය. 

කෙසේ වෙතත් නියමිත කාලයට පෙරාතුව ජනාධිපතිවරණය නොපවත්වනු ඇති බවත් නියම වෙලාවට එය පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණයක් ගනු ඇති බවත් සමරසිංහ මහතා කීය.

අපේක්ෂකයා ගැන තවම තීරණයක් නෑ - මහින්ද රාජපක්ෂ 
Mahinda 670px 03 12 18
මේ සම්බන්ධයෙන් 'මව්බිම' පුවත්පතට (10) ප්‍රකාශයක් කර ඇති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ඊළඟ ජනාධිපති අපේක්ෂකයා තවම තීරණය කර නැතැයි පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන පත්කිරීමේ තීරණයක් පිළිබඳව කිසිවක් නොදන්නා බවද ඔහු සඳහන් කර තිබේ.

පොහොට්ටුවේ කට්ටිය එකක් කියන බවත්, ශ්‍රී ල.නි.ප. අය තවත් එකක් කියන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තමා දන්නා පරිදි මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කිසිම තීරණය ගෙන නැතැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 

ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ මහින්ද : 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ, එළඹෙන ජනාධිපතිවරණයට 'පොහොට්ටුවෙන්' ඉදිරිපත් කරන අපේක්ෂකයා කව්රුන්ද යන්න තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බවත් එසේ නම් කරන අපේක්ෂකයා කව්රුන් වුවද ඔහුව ජයග්‍රහණය කරවන බවත්ය. 

හෙතෙම මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත 'ගම සමඟ පිළිසදරක්' සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයට මිනුවන්ගොඩදී එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට දේශපාලන පක්ෂ 29ක් සාකච්ඡා කර තිබෙන බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසිය.

''සමහරු අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. ඒක තීරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒක අපි ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. අපේ අරමුණ ජයග්‍රහණය නම් අපේක්ෂකයා කවුද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. මහින්ද මහත්තයා තෝරලා දෙන ඕනෙම අපේක්ෂකයෙක් ජයග්‍රහණය කරවන්න අපි සූදානම්.'' යයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේය.
 
 මොන සන්ධාන හැදුවත් ලකුණ 'පොහොට්ටුව'යි
 
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා, මොන සන්ධාන හැදුවත් එහි ලකුණ විය යුත්තේ පොහොට්ටුව බව අවධාරණය කළේය.

''දැන් හැමෝටම ඕනේ වෙලා තියෙන්නේ පොහොට්ටුව සමඟ සන්ධානගත වීමටයි. අපේ පැත්තට එන ඕනෙම කෙනෙක් පිළිගන්න අපි සූදානම් වුණත් කිසිම අවස්ථාවක පොහොට්ටුව පර වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රතිඥාව මම තමුන්නාන්සේලාට දෙනවා.

ඒ නිසා මොන සන්ධාන හැදුවත් අපේ ලකුණ විය යුත්තේ පොහොට්ටුවයි. පොහොට්ටුව තමයි අපේ ජය ලකුණ. අපිට මෙතරම් ජයග්‍රහණ ලැබුණේ ඒ ලකුණ නිසයි. ඒ නිසා කිසිම අවස්ථාවක අපි අපේ ජය ලකුණ අතහරින්න සූදානම් නැහැ.'' රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :
මලිත්, ශිරාල් හමුවුණේ නෑ : පොහොට්ටු ජනපති අපේක්ෂක තෝරන්නේ මහින්ද - බැසිල් 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top