Jan 12, 2019

කළු මාධ්‍ය සුදු කරන හැටි මෙන්න !

''පෞද්ගලික මාධ්‍ය හදන්න ඉස්සර ආණ්ඩුව යටතේ තියෙන ආයතන ටික සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරන්න ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනෙ. එහෙම කරොත් ශ්‍රාවකයො, නරඹන්නො ඒවට තමා ඇදී යන්නෙ, එතකොට ඔය කියන කලු මාධ්‍යයටත් ඉබේම සුදු මාධ්‍ය වෙන්න වෙනව.'' යයි 'කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය මහතා පවසයි.

උවිඳු කුරුකුලසූරිය මහතා සිය FB පිටුවේ සටහනක් තබමින් එබව සඳහන් කර ඇත. එම සටහනේ තවදුරටත් මෙසේද සඳහන්වේ.

''ඇත්තටම ලෝකෙ කොහෙවත් මාධ්‍ය ස්වාධීන නැහැ, හැමෝටම න්‍යාය පත්‍ර තියෙනව" කියල පෝස්ට් දාන අයට ඕනෙ ඊයෙ උද්ඝෝෂණ කරපු අයව හෙළා දකින්න. ඒ අයගෙන් අහන්න ඕනෙ තමන් ඉහළ ගුණාත්මක බවකින් යුතු, අපක්‍ෂපාතී මාධ්‍ය තමන්ට පරිභෝජනය කරන්න ලැබෙනවට අකමැතිද? මං නං හිතන්නෙ හැමෝම ඒකට කැමතියි කියල. කරන්න ඕනෙ මැසිවිලි නගන එක නෙමෙයි ඒ සඳහා ක්‍රියාත්මක වෙන එක.

එංගලන්තෙ වගේ රටක The Office of Communications (Ofcom) එකට කොච්චර පැමිණිලි එනවද පොඩි වැරද්දක් උනොත් ඉලෙක්ට්‍රෝනික මධ්‍ය අතින්. ඒ වගේම එක එක මාධ්‍ය ආයතනය ඇතුලෙ තියෙන ඔම්බුඩ්ස්මන් වැනි ස්වයංපාලන යාන්ත්‍රවලට කොච්චර පැමිණිලි එනවද? පුවත්පත් සම්බන්ධ තත්ත්වයත් එහෙමයි.

පුවත්පත්වල ආචාර ධර්ම විරෝධී හැසිරීම්වලට විරුද්ධව රාජකීය කොමිශන්, පාර්ලිමේන්තු කමිටු කීයක් නම් දාල තියෙනවද? ලංකාවෙ මේව ගැන පාඨකයින්ට, ශ්‍රාවකයින්ට, නරඹන්නන්ට පැමිණිලි කරන්නවත් හරි හමන් යාන්ත්‍රණ නැහැ.

ඉතිං දියුණු පුරවැසියො ඉන්න රටවල මාධ්‍යයට ඕන ඕන ඒව කරන්න තියෙන ඉඩකඩ ඉතාම සීමාසහිතයි. ලංකාවෙ පුරවැසියො ඉන්නව නම් ඒ සඳහා නිරන්තර අරගලයක් කරන්න ඕනේ. හැබැයි මගේ නම් තර්කෙ, ඔය පෞද්ගලික මාධ්‍ය හදන්න ඉස්සර ආණ්ඩුව යටතේ තියෙන ආයතන ටික සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරන්න ආණ්ඩුව ක්‍රියා කරන්න ඕනෙ. එහෙම කරොත් ශ්‍රාවකයො, නරඹන්නො ඒවට තමා ඇදී යන්නෙ, එතකොට ඔය කියන කලු මාධ්‍යයටත් ඉබේම සුදු මාධ්‍ය වෙන්න වෙනව.''

LakeH 670px 19 01 12ලේක්හවුස් ආයතනය

''මේ රජය යටතේ නිති විරෝධීව ලේක්හවුස් ආයතනය දිගටම පවත්වාගෙන යාමට තවදුරටත් ඉඩ දිය යුතු නැ''

මාධ්‍ය සම්බන්ධයෙන් මතුව ඇති කතිකාවට එක්වෙමින් උවිඳු කුරුකුලසූරිය මහතා අද (12) පස්වරුවේ සිය FB පිටුවේ තවත් සටහනක් තබා ඇත. එහි මෙසේ සඳහන් වේ.

''ආයෙත් මාධ්‍ය ස්වාධීනත්වය ගැන කතිකාව මතුවෙලා, ඒක ඉදිරියට ගත්තට අලුත් සංවිධාන එකමුතුවට ස්තූතියි. ඒත් නීති සම්පාදකයින්ටත් බලකරන්න ඕනෙ. මේ ඒගැන පළමු සටහන.

1973 දී ලේක් හවුස් එකට කරේ තාවකාලිකව මහා භාරකාරයා යටතට පත් කරපු එක විතරයි. ඒක ජනසතු කිරීමක් නෙමෙයි කියල ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමති කොල්වින් ආර් ද සිල්වත්, අගමැතිණි සිරිමාවෝත් කිව්ව. පණත දෙවන වර විවාදයෙදි 1973 ජූලි 17 වෙනිදා කොල්වින් මෙහෙම කිව්ව. "මාගේ ගරු මිත්‍රවරුන් මේ කෙටුම්පතට විරුද්ධ වන්නේ ඇයි? ......අප මේ පත්‍ර සමූහය පවරා ගන්නේ එහි හිමිකාරිත්වය පුළුල් කිරීමේ අදහසින් පමණක් බව ජනතාවට කියන්නට අවශ්‍යයයි. ඒ සඳහා වන ප්‍රතිපාදන ඔබ අමතක නොකළ යුතුයි. එය පුළුල් කරන ක්‍රමවේදය එහි ඇතුලත් කර තිබෙනවා. එය රජයේ අයිතිය යටතේ ස්ථිර ලෙස තබා ගැනීමේ අපේක්‍ෂාවක්ද නැහැ. අප එහෙම තියා ගන්නේ නැහැ. ......කෙටියෙන් කියනවා නම් ඔවුන් විරුද්ධ වන්නේ ඩී ආර් විජේවර්ධන පවුලේ හිමිකාරීත්වය වෙනුවට වෘත්තීය සමිති, සමූපකාර, පුරවැසියන්, මාධ්‍යවේදීන් එහි හිමිකාරිත්වයට පැමිණීමටයි.

ඒ විවාදයෙදි යූඑන්පී මන්ත්‍රී ඒ සී එස් හමීඩ් ලේක් හවුස් ආයතනය ජනසතු කිරීම කියල කියන කොට සිරිමාවෝ ඒකට බාධාකරමින් මෙහෙම කිව්ව "මෙය ජනසතු කිරීමක් නොවෙන බව ඔබට අමතක වෙලා.

ඉතිං ඒ පණතේ අභිප්‍රාය පැහැදිලියි. ඉතිං ජනසතු නොකෙරුනු ආයතනයක් අවුරුදු හතලිස් පහක් තිස්සේ හැම ආන්ඩුවක්ම අවභාවිත කරනවා. ඒකට ඇත්තටම ඇඟිලි ගහන්න මාධ්‍ය ඇමතිට බැහැ. ඒක තියෙන්නෙත් අධිකරණ ඇමති යටතේ, මොකද මහා භාරකාරය ඉන්නෙ අධිකරණ අමාත්‍යාංශය යටතේ. මේක සම්මත කරගත් පණතට පටහැනිව දිගින් දිගටම රජය යටතේ තබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක්.

1994 බලයට ආපු චන්ද්‍රිකා මේකෙ අයිතිය පුලුල් කිරීම සඳහා නිරිදේශ ඉදිරිපත් කරා. ඒකට තමා කියන්නෙ සිදත් ශ්‍රී නන්දලෝචන වාර්තාව කියල. ඒකෙ හිටිය අනිත් සාමාජිකයො තමා ආචාර්ය ජයදේව උයන්ගොඩ, රොහාන් එදිරිසිංහ, ආර් එම් ගුණසේකර, ලක්‍ෂමන් ජයවර්ධන. ඒ ගොල්ල හොඳ නිර්දේශයක් කරා.

කොටස්වලින් 20%ක් සමාගමේ සේවකයන් සඳහා වෙන් කළ යුතුය. දැනට රජයේ සංස්ථා වලට ඇති කොටස් ඇතුලුව 15ක කොටස් භාරකාර මණ්ඩලයක් යටතේ තැබිය හැකිය. දැනට පුද්ගලයින්ට හිමිව ඇති කොටස් ඒ ආකාරයෙන්ම තැබිය හැකිය. ඉතිරි කොටස් කොටස් වෙළඳ පළේ විකිණීමට හැකි අතර කිසිම පුද්ගලයෙකුට මිලදී ගත හැකි හෝ තබාගත හැකි උපරිම කොටස් ප්‍රමාණය 25,000ක් විය යුතුය. කොටස් මිල දී ගත හැක්කේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හෝ ශ්‍රී ලාංකිකයින්ට බහුතර හිමිකමක් ඇති සමාගම් වලට පමණි.

සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලය සාමාජිකයින් 11ක ගෙන් සමන්විත විය හැකිය. හය දෙනෙකු කොටස් හිමියන් විසින් ද, කර්තෘවරුන් හා ජනමාධ්‍යවේදීන් නම් කරන එක් අයෙකුද, අනෙකුත් සේවකයින් පත්කරන එක් අයෙකුද, භාරකාර මණ්ඩලයෙන් එක් අයකුද, අගමැතිවරයා විසින් එක් අයෙකුද, විපක්‍ෂ නායකයා විසින් එක් අයෙකුද වශයෙන් පත් කරනු ලැබිය හැකිය.

අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සංයුතිය මඟින් සංස්කරණ ස්වාධීනත්වය අවශ්‍යයෙන්ම සහතික වෙයි. එමෙන්ම ජනමාධ්‍යවේදීන් විසින් පත්කරනු ලබන අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයා නිකන්ම නියෝජනය කරනවා වෙනුවට ඔවුන්ගේ ලැදියාවන් රැකදීමට විශේෂයෙන් කටයුතු කළ යුතුය.

මීට වඩා හොඳ යෝජනා තියෙනව නම් කෙනෙකුට ඉදිරිපත් කරන්න පුලුවන්. ඒත් මේ රජය යටතේ නිති විරෝධීව ලේක් හවුස් ආයතනය දිගටම පවත්වාගෙන යාමට තවදුරටත් ඉඩ දිය යුතු නැත. ආණ්ඩුවෙන් මේක කරන්නෙ නැහැ. ජනමාධ්‍යවේදී සංවිධානත් මේ සටන අතහැරල. පාර්ලිමේන්තුව තුල මේ ප්‍රශ්ණෙ මතුකරන්න ඕනෙ කවුරු හරි ඒ නිසා. ආණ්ඩුවට මේක කරන්න බලකරන්න ඕනෙ!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top