Jan 15, 2019

සසුන්ගතවූ එංගලන්තයේ විදුහල්පති තුමා

එංගලන්තයේ සිට දිවයිනට පැමිණි විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිවරයකු වූ එංගලන්ත ජාතික රොබට්‌ ඇක්‌ටින් මහතා එංගලන්තයේ ධම්මානන්ද නමින් ඊයේ (14දා) පෙරවරුවේ ගාල්ල මානවිල ශ්‍රී ඛෙත්තාරාම විහාරස්‌ථානයේදී පැවිදි දිවියට ඇතුළත් විය.

හෙතෙම පැවිදි දිවියට ඇතුළත්වන විට 62 හැවිරිදි වියේ පසුවිය.

බුදුදහම පිළිබඳ පැහැදී නිවන් ශාන්තිය උදාකර ගැනීම සඳහා රොබට්‌ මහතා පැවිදි දිවියට පිවිස තිබේ. මොහු පැවිදි දිවියට පත්කිරීමට මගපෙන්වීම සිදුකොට ඇත්තේ දැනට එංගලන්තයේ මැන්චෙස්‌ටර් නගරයේ විහාරස්‌ථානයක වැඩ වාසය කරන ගල්පොත්තයායේ පේමානන්ද හිමියන් විසිනි. පේමානන්ද හිමියෝ මෙම පැවිදි පිංකම පිළිබඳ අදහස්‌ දක්‌වමින් මෙසේ පැවසූහ.

මා දැනට වසර 10 ක සිට එංගලන්තයේ මැන්චෙස්‌ටර් විහාරස්‌ථානයේ වැඩ වාසය කරනවා. මේ මහත්තයා ඒ විහාරස්‌ථානයට ආවා. මා ඉතා සමීපව ඇසුරු කළා. භාවනා වැඩසටහන්වලට සහභාගි වුණා. බණ භාවනා කළා. මහණ වීමේ අදහස මා සමඟ කීවා. ඒ අනුව තමයි ලංකාවට ඇවිත් පැවිදිවීමට තීරණය කළේ. බුද්ධ දර්ශනය පිළිබඳ පැහැදිලා හොඳ අවබෝධයෙන් තමයි රොබට්‌ මහත්තයා පැවිදි දිවියට ඇතුළත් වුණේ.

ඔහුට ධර්මය ගැන අවබෝධයක්‌ තියෙනවා. නිවන් ශාන්තිය පිණිස පැවිදි දිවියට ඇතුළත් වීමෙන් ඒ සඳහා වඩාත් කැප කිරීමක්‌ කරන්න පුළුවන් කියලා තමයි රොබට්‌ මහත්තයා හිතුවේ. ඒ නිසා ගිහි ජීවිතයෙන් ඈත්වෙලා බැඳීම්වලින් නිදහස්‌ වෙලා ඉක්‌මනින් පැවිදි දිවියට පත්වුණා.

පැවිදි දිවියට පත් එංගලන්තයේ ධම්මානන්ද හිමියන්ගේ බලාපොරොත්තුව බණ භාවනා කරමින් හොඳින් බුදු දහම ප්‍රගුණ කිරීමයි. මෙරට ගතකරන මාසයක කාලය තුළ ආරණ්‍ය සේනාසනවලට ගොස්‌ බණ භාවනා කිරීම මෙන්ම බුදුදහම ඉගෙන ගැනීමටත් කටයුතු කරනවා. ඊට පස්‌සේ එංගලන්තයට ගොස්‌ ධර්ම දූත සේවාවේ නිරතවීමයි උන්වහන්සේගේ අරමුණ.

එංගලන්තයේදී අපි කාලයක්‌ තිස්‌සේ භාවනා වැඩසටහන් කළා. මොහුට ගිහි කල දරුවන් දෙදෙනකු ඉන්නවා. මව තවම ජීවතුන් අතර ඉන්නවා. නෝනාගේ, මවගේ, දරුවන්ගේ අවසරය මත ආශිර්වාදය මත තමයි පැවිදි දිවියට ඇතුළත් වුණේ. පැවිදි ජීවිතය සාර්ථක කරගන්න විමසිල්ලෙන් අවබෝධයෙන් උන්වහන්සේ කටයුතු කරාවි. මාත් පියතිස්‌ස නායක හාමුදුරුවෝත් ධම්මානන්ද හිමියන්ගේ ගුරු හාමුදුරුවන් ලෙස කටයුතු කරනවා.

මෙකී පැවිදි පිංකම මහා සංඝරත්නයේ හා විහාරස්‌ථ දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් ඛෙත්තාරාම විහාරස්‌ථානයේ දී පැවැත්විණි. රොබට්‌ ඇක්‌ටින් මහතා ගිහි කල එංගලන්තයේ මැන්චෙස්‌ටර් නගරයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස කටයුතු කර ඇත. තල්පේ පත්තුව ඇතුළු ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක තල්ගම්පල ශ්‍රී සුචරිතාරාමාධිපති මානවිල රතනසිරි නාහිමියන් විසින් රොබට්‌ මහතා පැවිදි දිවියට ඇතුළත් කරගනු ලැබීය.

EnglandP1 670px 19 01 15

EnglandP2 670px 19 01 15

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top