Jan 17, 2019

හැරිසන් වට්ටක්කාවලට කෝටියක් දෙයි Featured

සමහර ප්‍රදේශවල වට්ටක්කා කිලෝවක් මිලදී ගැනීමේ මිල රුපියල් පහ දක්වා අඩු වීම නිසා ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව වාර්තා වේ. පසුගිය කාලයේ පැවැති වියළි කාලගුණය නිසා වගාව ආරක්ෂා කර ගැනීමට දිවා රාත්‍රී භූගත ජලය යොදා වගාව ආරක්ෂා කර ගත්තද අස්වැන්න විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙති.

කෘෂි රසායන හා පොහොර සඳහා අධික මුදලක් වියදම් කිරීමට සිදුවීම හා සේවක වැටුප් ඉහළ යාම වැනි කාරණා නිසා වට්ටක්කා කිලෝවක් නිෂ්පාදනය කර ගැනීම සඳහා රුපියල් 3542 ත් අතර මුදලක් වියදම ඇතැයි ද එම පිරිස් පෙන්වා දෙති. වට්ටක්කා මිළ පහළ යාම නිසා අනුරාධපුර කුරුණෑගල මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන අතර එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ලංකාවේ අනිකුත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව මෙම දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වට්ටක්කා වගා කටයුතු සිදුවීමයි.

මේ පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ වට්ටක්කා කිලෝවක් රුපියල් 30 බැගින් මිලදී ගෙන ගොවි ජනතාව ආරක්ෂා කර ගැනීමට රජය මේ වන විට තීරණය කර තිබෙන බවයි. ඒ අනුව දේශිය වට්ටක්කා ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 100 ක මුදලක් වෙන් කර ඇති අතර ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලකට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියේය.

මෙම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ සිදුවන බවත් දැනටමත් ඒ සඳහා රුපියල් ලක්ෂ සියයක් මුදාහැර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. සැබෑ ගොවීන්ගෙන් පමණක්ම වට්ටක්කා මිලදී ගැනීමට තීරණය කර තිබෙන බවත් මේ අනුව සැබෑ ගොවීන් හඳුනාගැනීම සඳහා ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ද හෙතෙම කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top