Jan 17, 2019

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කල කතාව බොරුවක් !

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට පළවන පුවත මුළුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය කිහිපයක පළවන පුවතක් සම්බන්ධව අප කළ කරුණු විමසීමේදී මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීයකු මේ බව සදහන් කල අතර එම පුවත කිසිදු පදනමක් නැතිව අමාත්‍යවරයාගේ සහ සිය අමාත්‍යාංශයේ කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් ප්‍රචාරය කරන්නක් බවද ඔහු පවසයි.

චාර්ල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ පිහිටවූයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර බවත් එහිදී කාන්තාවක් එකී ධුරයට පත්කිරීම ගැන සිනාසුණු පාර්ශවයම අද ඇය කීර්තිමත් ආකාරයට රාජකාරි කරනවා දැක අමාත්‍යාංශයට අභූත චෝදනා කිරීම ගැන පුදුම නොවන බවද එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

එසේම චාර්ල්ස් මහත්මිය සම්බන්ධව කිසිදු චෝදනාවක් නොමැති බවත් ඒ හමුවේ ඇයව ධුරයෙන් ඉවත් කිරීමේද කිසිදු තීරණයක් නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top