Jan 18, 2019

රනිල් සබරගමුව වෛද්‍ය පීඨය විවෘත කරයි

රජය මුදල් කප්පාදු කරන බවට ඇතැම් පාර්ශව චෝදනා කළත් මෙරට බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් වැය නොකළ ආකාරයේ මුදලක් ජාතික ආණ්ඩුව ගතවූ වසර 04 තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වැය කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) රත්නපුරයේදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකලේ සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සව සභාව අමතමිනි.

රත්නපුර රෝහල ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සිදු කෙරිණි.

යුද්ධයෙන් පසු රටේ වැඩිපුර මුදලක් යටිතල පහසුකම් හා සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැය කළත් එම සංවර්ධන ව්‍යාපෘති සුදු අලියෙක් බවට පත්ව රටට බරක් වී තිබූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වෛද්‍ය පීඨය විවෘත කිරීමේ උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

"රට ඉදිරියට ගෙන යාමට නිරෝගි ජනතාවක්, නිරෝගි මනසක් අවශ්‍යයි. මෙපමණ මුදල් වැයකර දැනුම වැඩිකර දී පුද්ගලයෙක් වසර 50 ජීවත් වෙනවා නම් ඉන් පළක් නැහැ. අවුරුදු 70 - 80 වත් ජීවත්විය හැකි නිරෝගි පරපුරක් අපි බිහිකල යුතුයි. වසර 30ක් යුද්ධයට අප මුදල් වැය කළා. යුද්ධයෙන් පසුව අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් මුදල් වැඩිකළේ නැහැ. යටිතල පහසුකම් වෙනුවෙන් මුදල් යෙදෙව්වා. වෙනත් සංවර්ධන වැඩවලට මුදල් යෙදෙව්වා. නමුත් එම සංවර්ධන ව්‍යාපෘති බොහෝමයකින් රටට ප්‍රයෝජනයක් ලැබී නැහැ. ඒවා සුදු අලි බවට පත්වෙලා. එලෙස වැයකළ මුදල් අධ්‍යාපනයට, සෞඛ්‍යයට යෙදෙව්වා නම් රටට විශාල ප්‍රයෝජනයක් ලබාගැනීමට තිබුණා".

"මේ රටේ ඉංජිනේරු හා තාක්ෂණ අංශ වෙනුවෙන් තවත් මුදල් වැඩිපුර වෙන්කර එම අංශ ද දියුණු කළ යුතුයි. එමෙන්ම වෘත්තීය පුහුණු අංශයද තවත් දියුණු කළ යුතුයි. පාසල්වලට අළුතින් විද්‍යා ගුරුවරු බදවා ගැනීම සම්බන්ධව අධ්‍යාපන ඇමතිතුමා සමඟ මා සාකච්ඡා කොට තිබෙනවා".

"අධ්‍යාපනයත්, සෞඛ්‍යයත්, ආර්ථික සංවර්ධනයත් එකට එකතු කර රට ඉදිරියට ගෙන යා යුතුයි. ඇතැම් පාර්ශව රජයේ මුදල් කප්පාදු කරන බවට චෝදනා කරනවා. නමුත් ලංකා ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්ඩුවක් වැය නොකළ ආකාරයේ විශාල මුදලක් අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් ජාතික ආණ්ඩුව වැය කර තිබෙන බව කිව යුතුයි" යැයි පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ. ඒ විජේතුංග, හේෂා විතාරණ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා දේශපාලඥයින් රැසක් සහභාගිව සිටියහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top