Jan 18, 2019

"උමා ඔය ව්‍යාපෘතිය සියල්ල අහිමි කළා" - ඩ්‍රෙසීනා ව්‍යාපාරික ජනක

අලංකරණය සඳහා යොදාගන්නා ඩ්‍රෙසීනා සැන්ඩ්‍රියානා නම් ශාඛය ඉතාමත් සාර්ථකව වගාකොට අපනයනයේද යෙදුණු පුද්ගලයෙකුගේ ජීවිතය උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් කඩාවැටුණු පුවතක් බණ්ඩාරවෙල ප්‍රෙද්ශයෙන් වාර්තාවේ.

බණ්ඩාරවෙල කිණිගම රත්මල්ගස් ඇල්ල පදිංචි ජනක නිලම්ප‍්‍රිය දිසානායක නම් ඔහු මේ වන විට බණ්ඩාරවෙල කුළී නිවසක තම දරු පවුල සමග ජීවත් වෙමින් සිටී.


සිය නිවසේ ගෙවත්තේම ඉතා සාර්ථක ලෙස මහ පරිමාණයෙන් ඩ්‍රෙසීනා සැන්ඩ්‍රියානා වගාව කළ ඔහු එය දේශීය වෙළෙඳපොළට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහාද සපයමින් මෙරටට විශාල වශයෙන් විදේශ විනිමය උපායා දී තිබේ.

නමුත් උමාඔය ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟ ප‍්‍රදේශයේ ළිං, ඇළ දොල හා අමුණු සිඳීයාමෙන් ජලය ලබා ගැනීමට නොහැකිවීමෙන් මෙම වගාව විනාශ වී ඇති අතර ඔහුගේ නිවසද ඉරිතලා පුපුරා ගිලා බැසීමට ලක්ව ඇත.

තම ව්‍යාපාරයත් නිවසත් විනාශ වූ තැන ඔහුගේ පවුල නිවසින් ඉවත් කර කුළී නිවසකට යැවීමට කටයුතු කර තිබේ.

මේ පිළිබදව අදහස් දක්වන දිසානායක මහතා,

"උමාඔය ව්‍යාපෘතියේ බලපෑමෙන් පසු මගේ ව්‍යාපාරය කර ගෙන ගිය ස්ථානය සම්පූර්ණයෙන්ම හානියට පත් වුණා. මේ තත්ත්වය මත අපව නිවසින් ඉවත් කර මාව කුළී ගෙදරකට යැවීමට බලධාරීන් කටයුතු කළා. නමුත් මගේ වගාව පිළිබදව කිසිම කෙනෙක් නිසි අවධානයක් යොමු කරේ නෑ. දැන් මට අවුරුදු දෙකකට අධික කාලයක් සිට රුපියලක්වත් ආදායමක් එන්නේ නෑ. මට විදේශවලින් විශාල ඇනවුම් ලැබුනත් ඒවා සඳහා පැළ ලබාදීමට මට වගාවක් කරන්න විදියක් නෑ".

"මේ වන විට මම හිතවතුන් හා නෑදෑයන් ලබා දෙන මුදල්වලින් දරුවන් තිදෙනෙකු හා බිරිඳ සමඟ ජීවත් වන පුද්ගලයෙකු බවට පත්වෙලා. මං උපයාගත් මුදලත් මේ වනවිට වියදම් වෙලා".

"මට දැන් කිසිඳු ආදායමක් නැති නිසා හිඟා කන තත්ත්වයකට පත්වෙලා. කෘෂිකර්ම නිලධාරීන් ඇවිත් මගෙන් තොරතුරු අහනවා. එනවා ෆොටෝ ගහනවා අරන් යනවා විතරයි. මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූවත් මට කිසිම තොරතුරක් දෙන්නෙ නෑ. රටේ ව්‍යාපෘතිවලට අපේ ජීවිත බිලි දෙන්න බෑ. අපිට ඉතුරු වුණ දෙයක් නෑ. කවුද අපි ගැන බලන්නේ. මේ සඳහා වග කිව යතු පිරිස් ඇවිත් අහිමි වෙච්ච ජීවිතය යළි ලබා දිය යුතු වෙනවා" යැයි පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top