Jan 18, 2019

ලසන්ත - ගෝඨාගේ වැඩක් Featured

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරගෙන යමින් සිටියදී එවකට සිටි ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පසන්න නානායක්කාර මහතා, "ඕක ගෝඨාගේ වැඩක්" යැයි ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ සුගතපාල මහතාට පැවසූ බව සුගතපාල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙමින් කියු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊ‍යේ (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී පවසා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ පැවසුවේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරමිනි. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහර දීම සහ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීම එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සිද්ධියට සම්බන්ධ හමුදා සෙබළුන් භාවිත කළ ජංගම දුරකථන සංවාද ඇසුරෙන් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මාධ්‍යවේදී කීත් නොයාර් හා මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දීමට සම්බන්ධ වී ඇත්තේ එකම කණ්ඩායමකි.

මේ අතර අදහස් දැක් වූ ලසන්ත වික්‍රමතුංග ගේ පවුලේ උදවිය අඛණ්ඩව චෝදනා කරන්නේ ලසන්ත ඝාතනය සිදු කරන්නේ මිග්යානා ගනුදෙනුවක් සම්බන්ධ තොරතුරු හෙළි කිරීම නිසා බවටය.

(රාවය)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top