Jan 21, 2019

'අපි ලංකාවට ආවේ සිංහරාජයේ පාරවල් බලන්න නෙවෙයි'

සිංහරාජයට යන්නේ විනෝදවන්නට නොව ජෛව විවිධත්වය අධ්‍යයනය කරන්නට බවත් එසේ තිබියදී ඒ තුළ මාර්ග තනා ඒවා විනාශ කිරීමට බලධාරීන් දිගින් දිගටම කටයුතු කරමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියා සිටියි.

ඔවුන් මේ බව කියා සිටියේ සිංහරාජයේ කුඩව මාර්ගය ඉදිකිරිම පිළිබදව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා හා වන සංරක්ෂණ අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකිමින් ඔහුන් විසින් කරන අසත්‍ය ප්‍රචාර වලට පිළිතුරු දීමට හා එම මාර්ගයට විරුද්ධ ඉදිරි ක්‍රියා මාර්ග දැනුම් දීම සදහා අද (21 දා) පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවවේදීය.

ඒ සදහා සහභාගී වු පරිසරවේදී පුජ්‍ය වෑකදවල රාහුල හිමියන් මාධ්‍ය අමතමින් පවසා සිටියේ බලධාරීන් ජනතාව රවටමින් සිංහරාජ ලෝකඋරුමය විනාශය දිගටම කරගන යන බවයි. අඩුම තරමේ පරිසර අමාත්‍යවරයා පරිසර නීතියවත් රැකිය යුතු බවත් දැන්වත් මෙම විනාශය නවතා දැමිය යුතු බවත් උන්හන්සේ පැවසූහ.

මාධ්‍යවේදී ශාලික විමලසේන මාධ්‍යට අදහස් දක්වමින් 'අපි පසුගිය සතියේ ජනක ගුණතිලක ඩිල්ශාන් විමල්ක හා කසුන් පුස්වැල්ල යන මාධ්‍යවේදීන් මෙම ස්ථානය පරික්ෂා කරන්න ගියා . එහිදී විශාල විනාශයක් එම ප්‍රදේශයේ කරලා තියෙනවා අපි දැක්කා . ලෝක උරුමය ඇතුලේ ගල් කුඩු පවා ගොඩ ගහලා තියනවා. මෙම මාර්ගය එම පරිසරයට විශාල හානියක් කර තියෙනවා.'

මාධ්‍යවේදී කසුන් පුස්වැල්ල මාධ්‍ය අමතමින් පවසා සිටියේ 'අපි තම ඇසින්ම මෙම විනාශය නැරඹීමට ගියා. එය කාටවත් ඇතුල් වෙන්න නොදී හොර රහසේ කරන්නේ . අපිට මෙම මාර්ගය සමබන්ධ සාධාරණ සැකයක් තියෙනවා.'

මෙම අවස්ථාවට සහභාගී වු නිතිඥ නුවන් බෝපගේ 'ආණ්ඩුව ජාතික පාරිසරික පනත ,වන සත්ව හා වෘක්ෂලතා අඥාපනත ඇතුළු නීති කඩ කරමින් මෙම විනාශය කරමින් සිටිනවා විතරක් නොවේ බහු ජාතික සමාගම් ලෝක බැංකුවට රටටම උගස් තියමින් ඉන්නවා.'

වෛද්‍ය ප්‍රසන්න කුරේ මාධ්‍ය අමතමින් 'ලෝක බැංකුව කියන්නේ ණය දෙන ආයතනයක්. නමුත් ඒවාට කියන්නේ ආධාර කියල. මේවා අපි ගත්තහම මහජනතාව ඒවා ගෙවන්න වෙනවා .'

මෙහිදී අදහස් දක්වමින් පෝලන්ත ජාතිකයෙකු කියා සිටියේ අපි ලංකාවට ආවේ සිංහරාජයේ පාරවල් බලන්න නෙවේ යනුවෙනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top