Jan 22, 2019

සංචාරක පෙදෙස්වල දරුවන් පරිස්සමින්

හික්කඩුව, වැල්ලවත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක (05) කුඩා පිරිමි ළමයෙකු මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කර මුහුදු වෙරළට රැගෙන ගිය බව කියන රුසියන් ජාතිකයකු පෙරේදා (20) සවස හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද රුසියන් ජාතිකයා සහ කුඩා දරුවා ඊයේ (21) ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, වැල්ලවත්ත ප‍්‍රදේශයේ හෝටලයක නැවතී සිටි රුසියන් ජාතිකයෙකි. විදේශීය ජාතිකයෙකු විසින් සිය දරුවා පැහැර ගෙන ගොස් තිබෙන බවට දරුවාගේ මව විසින් හික්කඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව රුසියන් ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා දරුවා හික්කඩුව, වැල්ලවත්ත ප‍්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට තමාගේ පාපැදිය පදිමින් සිට ඇති අතර එම මාර්ගයේ පයින් ගමන් කළ විදේශිකයා විසින් දරුවා රවටා රැගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

රුසියන් ජාතිකයා දරුවාගේම පාපැදියේ නංවා ගෙන ඔහු විසින් පාපැදිය පැදගෙන යන අයුරු ප‍්‍රදේශවාසීන් විසින් දැක ඒ බව දරුවාගේ දෙමාපියන්ට දැනුම් දී තිබේ. ප‍්‍රදේශවාසීන් ප‍්‍රකාශ කර ඇත්තේ දරුවා අකමැත්තෙන් කඳුළු සලමින් පැපැදියේ යන අයුරු තමන් දුටු බවයි.

හික්කඩුව, වැල්ලවත්ත ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ රුසියන් ජාතිකයා කුඩා දරුවා සමග සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. හික්කඩුව පොලිසිය පසුව දරුවා දෙමාපියන්ට බාර දී ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top