Jan 25, 2019

“මහින්දට ජාතිවාදය අවුස්සාගෙන නටන්න දෙන්න බෑ” (වීඩියෝ)

අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධව දෙමළ විරෝධී ජාතිවාදී ප්‍රචාර සිදුකරන සිංහල දැඩි මතධාරී බලවේග වලට දකුණේ බහුජන සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවකින් බලවත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ එම සංවිධාන චෝදනා කරන පරිදි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව “පෙඩරල්” ලෙස හඳුන්වමින් ජාතිවාදී විරෝධයක් මතු කිරීමට නායකත්වය දී ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂයි.

“මහින්දට ජාතිවාදය අවුස්සාගෙන නටන්න දෙන්න බෑ” (වීඩියෝ)

“පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටතත් ජාතිවාදය අවුස්සාගෙන නටන්න දෙන්න බෑ,” යි එම මාධ්‍ය හමුවට එක්වූ ජාතික කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර කියා සිටියේය.

දැනට පවතින ව්‍යවස්ථාවද පෙඩරල් පන්නයේ එකක් බව කී ඔහු එමගින් නිසියාකාර බලය බෙදීමක් සිදු නොවීම නිසා “පරඬැල් වී” ඇතැයි අවඥාවට ලක් කළේය.

මහජනතාව එකතු වී හදන අලුත් ව්‍යවස්ථාවක් !

මැතිවරණයක් ආසන්නයේ දේශපාලකයන් ව්‍යවස්ථාව වෙනස් කිරීමට මැලිවී සිටින බවට චෝදනා කළ ආචාර්ය තේනුවර සිංහල භාෂාවෙන්ද සකස් කොට ඇති යෝජනා මාලාව කියවා අලුත් ව්‍යවස්ථාව සකස් කිරීමට සහභාගි වන ලෙස දකුණේ ජනතාවට ආරාධනය කර සිටියේය.

“දේශපාලකයන් මේ ව්‍යවස්ථාව හැදුවේ නැති නම්, මහජනතාව එකතු වෙලා මේ ව්‍යවස්ථාව හැදිය යුතුයි. අපිට පුළුවන් ව්‍යවස්ථාවක් හදන්න.”

නිසි කලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකර සිටීම මගින් පවතින අර්බුදකාරී තත්වය තියුනු වීමට සැලැස්වූ බවට ආණ්ඩුවද චන්ද්‍රගුප්ත තේනුවරගේ දෝෂ දර්ශනයට ලක්විය.

(radiogagana.com)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top