Jan 27, 2019

මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරන්න - පොහොට්ටුවට බලපෑම් Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, පොදුජන පෙරමුණත් (පොහොට්ටුව) කොන්දේසි විරහිතව සහාය ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශකර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව ද හෙතෙම අවධාරණය කර සිටියි.

පොදුජන පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අපේක්ෂකත්වයට විරුද්ධ වීමට කිසිම සදාචාරාත්මක අයිතියක් දැන් නැතැයි ද දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාව අගමැති හැටියට පත් කළ බවත්, පසුව විපක්ෂනායකකම දුන් බවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තාට පසුව මන්ත්‍රීකමත් රැක දුන් බවත් දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියි.

මේ අතර සතිඅන්ත 'අනිද්දා' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සහතික නොවුහොත් එම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානයක් ගොඩනැගීම සිදු නොවනු ඇති බවයි.

පොහොට්ටුවේ ස්ථාවරය :

ශ්‍රීලනිප ප්‍රධානින් මෙසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහය ලබාදිය යුතු යයි බලපෑම් කරමින් සිටින්නේ, ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොකිරීමට පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තාවීමත් සමගය.

පසුගිය ඔක්තෝම්බර් මස 26දා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත්කර මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කලේ ඔහුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයදෙන බවට මහින්ද රාජපක්ෂ මහතා දුන් සහතිකය මත බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වූ අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කර ඇති ප්‍රකාශයෙන් එය තහවුරු වේ.

සබැඳි පුවත් :

මෛත්‍රීට අපේක්ෂකත්වය නොදුන්නොත් සන්ධාන බැහැ' - ශ්‍රීලනිප ප්‍රකාශක

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top