Feb 05, 2019

නයිවල උද්‍යානය තහනම් - අනතුරට පත් දියණියත් මියයයි (Update)

(Update) - වේයන්ගොඩ , නයිවල මාරාපොළ ප්‍රදේශයේ පිහිටි නිව් සනිරෝ ඩ්‍රීම් පැරඩයිස් පෞද්ගලික ළමා උද්‍යානයක බූවල්ලා යන්ත්‍රයක් කැරකෙමින් තිබියදී ඊයේ (04දා) දහවල් එහි එක් බක්කියක් ආධාරකයෙන් ගැලවී විසිවී යෑමෙන් තුවාල ලැබූ දියණියද මියගොස් තිබේ.
ඇගේ  මව ඊයේ දින  අනතුර සිදුවූ ස්ථානයේදීම මිය ගිය අතර  13 හැවිරිදි දියණිය බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නැවත ගම්පහ රෝහලට එවා තිබුණි. 
 
අත්තනගල්ල මහේස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය විසින්  නිව් සනිරෝ ඩ්‍රීම් පැරඩයිස් පෞද්ගලික ළමා උද්‍යානය  නිරීක්ෂණය කිරීමෙන් පසුව එය තාවකාලිකව තහනම් කිරීමට නියෝගයක් ලබාදී ඇති අතර සිද්ධියට අදාල පුද්ගලයින්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය වේයන්ගොඩ පොලිසියට  නියෝග කළාය.
 
මෙම උද්‍යානයේ අයිතතිකරු මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. 
 
............................................................................................

මෙරිගෝරවුන්ඩ් බක්කිය ගැලවී මවක් මියයයි

නයිවල මාරාපොළ ප්‍රදේශයේ පිහිටි නිව් සනිරෝ ඩ්‍රීම් පැරඩයිස් පෞද්ගලික ළමා උද්‍යානයක බූවල්ලා යන්ත්‍රයක් කැරකෙමින් තිබියදී ඊයේ (04දා) දහවල් එහි එක් බක්කියක් ආධාරකයෙන් ගැලවී විසිවී යෑමෙන් තුවාල ලැබූ මවක මියගොස්, 13 හැවිරිදි දියණිය බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ කොටුගොඩ සියඹලාපිටිය, ඒකල පදිංචිව සිටි දිස්නා ජානකී ගංගොඩවිල (47) නමැති අයෙකි.

මෙම මව හා දියණිය ඊයේ (04දා) උදේ මෙම ළමා උද්‍යානයට පැමිණ ඇතැයිද දහවල් 11.30ට පමණ ඔවුන් බූවල්ලා යන්ත්‍රයේ පෙට්ටියකට ගොඩවී එය වේගයෙන් කැරකෙමින් තිබියදී ඔවුන් ගමන් කළ පෙට්ටිය කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කියයි.

රෝහලට ඇතුළත් කරන විට මව මියගොස් ඇති බව අනාවරණය වී ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ රශ්මි අරලිය 13 දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබූ බව රෝහල් ප්‍රකාශකයකු කීය. එසේ කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද ඒ වන විටත් හිස්කබල තුලට දැඩිලෙස අභ්‍යන්තර ලේ වහනය වී තිබීමත්, හිසට සිදු වී ඇති දැඩි හානිත් හේතුවෙන් ඇගේ ජීවිතයද බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන්ගේ නිගමනය වීමෙන් නැවත ගම්පහ මහ රෝහල වෙත එම දැරිය හරවා එවා ඇත.

මෙම යන්ත්‍රයේ එක් පෙට්ටියක යුගලයකට ගමන් කිරීමේ අවස්ථාව ඇති අතර ඒ අනුව මෙම මව හා දියණිය එක් පෙට්ටියකට නැඟී ඇති බවද සඳහන්ය. අනෙක් පෙට්ටිවල ගමන් කළ කිසිවකුට අනතුරක් සිදුවී නැතැයි පොලිසිය කියයි.

මෙම බූවල්ලා යන්ත්‍රය කැරකැවීම භාරව කටයුතු කළ පුද්ගලයා පැවැසුවේ එය ක්‍රියාත්මක කර වට කිහිපයක් යෑමෙන් පසු එක්වරම එහි එක් බක්කියක් ආධාරකයෙන් ගැලවී විසිවී ගිය බවයි. ඒ බව දුටු වහාම යන්ත්‍රය ක්‍රියාත්මක වීම නවතා තුවාල ලබා වැටී සිටි දෙදෙනා රෝහල් ගත කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

මීට පෙරද මෙම උද්‍යානයේදී මේ ආකාරයෙන් ජීවිත බිලිගෙන ඇති බව පැවසේ.

මෙම සිද්ධියෙන් පසු ළමා උද්‍යානයේ ක්‍රීඩාගාර වසා තැබීමට එහි පාලකයන් පියවර ගෙන තිබිණි. මෙම අනතුර සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය මඟින් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඊයේ (04දා) සවස මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ සම්බන්ධව වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර මියගිය මවගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (04දා) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top