Feb 06, 2019

''සිංහරාජය දෙබෑ කර ජෛව කොල්ලයටත් පාරක් කපයි'' Featured

ලංකාවට ආවේනික ශාඛ සහ සත්ත්ව ජාන රහසේ රැගෙන ගොස් විදේශයන්හිදී ඒවායෙන් විවිධ නිෂ්පාදන සකස් කර ඊට පේටන් බලපත්‍රය ගැනීමේ මංකොල්ලයක් ඇතැයි ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා අද (06) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් කොළඹ සීඑස්ආර් ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිනි.

සිංහරාජයේ මාර්ගයක් කැපීමෙන් එවැනි ජාවාරම්වලට සහයෝගයක් ලැබෙන බව ද ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම සම්මන්ත්‍රණයේ දී අදහස් දැක්වූ පරිසරවේදී වෑකඳවල රාහුල හිමියෝ මෙසේ කීහ.

‘‘ ලෝකයේ බොහෝ රටවල් පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා නව නීති සකස් කරද්දී ලංකාවේ පාලකයන් සිංහරාජ අධි රක්ෂිත වනාන්තරයේ කලවාන, වැද්දාගල, කුඩව පිවිසුම ආශ්‍රිතව නීතිවිරෝධී ලෙස අඩි දහයක් පළල මාර්ගයක් ඉදිකරමින් ඉන්නවා. ඉන්ටර්ලොක් ගල් අල්ලා, කොන්ක්‍රීට් කාණු සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන මෙම මාර්ගය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය අසල සිට අධි රක්ෂිත පිවිසුම දක්වා ඇති අධි සංවේදී කලාපයේ විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර යොදාගනිමින් සකස් කරනවා.. අධි රක්ෂිතයකට අදාළ වන සියලු නීති රක්ෂිතයෙන් පිටත මීටර් පන්සියයක් යනතුරු ඒ ආකාරයෙන්ම අදාළ වෙනවා. එසේම සිංහරාජ ලෝක උරුම අධි රක්ෂිත වනාන්තරය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රටක් ලෙස අප ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකටද අත්සන් කරලා තිබෙනවා.

රජය කියන්නේ මේ මාර්ගය 1972 වසරේ සිට පැවති එකක් බවයි. ඒක ඇත්ත. එහෙත් ඒ වන විට සිංහරාජය අධි රක්ෂිතයක් ලෙස හෝ ජාතික උරුමයක් ලෙස හෝ ලෝක උරුමයක් ලෙස හෝ නම් කර තිබුණේ නැහැ. එම නිසා පෙර පාරක් තිබුණු බව කීම දැන් අදාළ වෙන්නේ නෑ. 1978 වසරෙන් පසු මේ ප්‍රදේශයේ කිසියම් ආකාරයක ඉදිකිරීමක් හෝ එවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම නීතිවිරෝධීයි.

ආණ්ඩුව නියෝජනය කරන මේ පාර්ශ්වයන් පවසන තවත් කරුණක් වන්නේ මේ මාර්ගයෙන් ප්‍රදේශවාසීන්ට, විශේෂයෙන්ම පාසල් ළමුන්ට වාසි රැසක් සැලසෙන බවයි. එහෙත් මේ මාර්ගයෙන් යෑම්-ඊම් පහසුකම් සපයාගත හැක්කේ පවුල් තුනකට පමණයි. එයින් එක් පවුලක් වන්නේ සිංහරාජයේ සුප්‍රකට මාටින් විජේසිංහ හෙවත් මාටින් මාමාගේ පවුලයි. මාටින් මාමා මේ මාර්ගය ඉදිකිරීමට විරෝධය පළකරලා තිබෙනවා. අනෙක් පවුල ඔහුගේ දියණියගේ පවුලයි. තවත් එක් පවුලකට අවශ්‍ය නම් මේ මාර්ගයෙන් යා හැකිය. එහෙත් එම පවුල් තුනම පවසන්නේ කුඩව ගම මැදින් ඇති මාර්ගයෙන් යෑම්-ඊම් කිරීම තමන්ට වඩාත් පහසු බවයි. එසේම මේ පවුල් තුනට සිටින පාසල් යන වයසේ ළමුන් කිහිප දෙනා කිසිදිනෙක කැලෑ පාරෙන් නොයවන බවත්, ගම මැද පාරෙන් පාසල් යවන බවත් ඔවුන් කියනවා. ආණ්ඩුවේ පාර්ශව කියන කතා සියල්ල බොරු.''

සබැදි පුවත්
උරුමය උස්සන්න හැදූ ස්ලෝවැකියානුවන් 5ක් රිමාන්ඩ්

සිංහරාජය වැනසීමට එරෙහිව පුරවැසියන් පාරට (ඡායා)

'අපි ලංකාවට ආවේ සිංහරාජයේ පාරවල් බලන්න නෙවෙයි

සිංහරාජ වන සංහාරය සැගවීමේ උත්සාහයක්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top