Feb 07, 2019

ශ්‍රීලනිපය එකතු වුනත් නැතත් 'පොහොට්ටුව' දිනනවා'' -බැසිල් Featured

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බව එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර එහි පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

“මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්නොවුණොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා.

මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කිරීමේ හැකියාව තිබෙනවා.” යයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසිය.

 ''සන්ධාන ගැසීමට පෙර එකඟත්වයක් අවශ්‍යයි''

කෙසේවුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවීමට පෙර මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එකඟත්වයක් තිබිය යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව අවධාරණය කර සිටින මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟ ඕනෑම පක්ෂයකට එකතු විය හැකි බවත් එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ලැබිය යුතු බවත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සංසදය පවසන්නේ, ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ යුතු බවයි.

ජනපති නිවසේ විශේෂ සාකච්ඡාවක් : බැසිල් - දුමින්ද දෙන්නම නැහැ

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පෙරේදා (06) රාත්‍රීයේ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, මහචාර්ය ජී.එල් පීරිස්, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩඩ්ලස් දේවානන්ද, වාසුදේව නානායක්කාර,ඒ.එච්.එම් අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් ඇතුළ පක්ෂ නායකයින් පිරිසක් සහභාගි වූහ.

නව දේශපාලන සන්ධානය පිහිටුවීම සම්බන්ධයෙන් එහිදී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පොදුජන පෙරමුණ විසින් පත් කරන ලද ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයන් කිහිපදෙනෙකුද පත්කර එය පුළුල් කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය වී ඇත.

ඒ අනුව දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ඒ.එච්.එම් අතාවුල්ලා, ඩඩ්ලස් දේවානන්ද යන මහත්වරු එම කමිටුවට පත්කර ඇති අතර එම කමිටුවේ කැඳවුම්කරු ලෙස උදය ගම්මන්පිල මහතා පත්කර ඇත.

නව දේශපාලන සන්ධානය ඉදිරියේදී සති දෙකක කාලය තුළ එකඟතාවක් ඇති කර ගැනීම මෙම කමිටුව පවරා ඇතැයි වාර්තා වේ.

එම කමිමුවේ සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සන්ධානයේ පක්ෂ නායකයින් ලබන 16 හෝ 17 යළි රැස්වීමටස අද පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.

 සබැඳි පුවත්:

ජනාධිපතිවරණය : ශ්‍රීලනිපයේ අපේක්ෂකයා මෛත්‍රී !

මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරන්න - පොහොට්ටුවට බලපෑම්

මෛත්‍රීට සහය දෙන්න බැහැ -පොහොට්ටුව දැඩි ස්ථාවරයක ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top